අද සුපුවත -සැප්තැම්බර් මස 26

මාගේ පර්වතය වන සමිදුනි ඔබ වහන්සේට ප්‍රසංශා වේවා

පළමු කියවීම/ධර්මදේශකයා 3:1-11

 හැම දෙයට ම ප්‍රස්තාවක් ද මේ මහ පොළොවෙහි හැම කාරණයට ම නිසි කාලයක් ද ඇත.
2 උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක් ඇත; සිටුවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත;
3 මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත; කඩා දමන්නට කාලයක් සහ ගොඩනඟන්නට කාලයක් ඇත;
4 අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත; වැලපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත;
5 පෙම්වතුන්ට එක් වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳගන්නට කාලයක් සහ වැළඳගැනීමෙන් වළකින්නට කාලයක් ඇත;
6 සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත; තබාගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත;
7 ඉරාදමන්නට කාලයක් සහ එලලන්නට කාලයක් ඇත; නිශ්ශබ්ද ව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත;
8 ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත; යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත.
9 අපේ සියලු වැඩකටයුතුවලින් කවර ප්‍රයෝජනයක් ඇද් ද? 10 දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පිට තබා ඇති කාර්යය මම දනිමි. 11 උන් වහන්සේ සියලු දේ ම ඒ ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන් වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත්, දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරි ය. 12 එබැවින් සිය ජීවිත කාලයේ දී ප්‍රීති වී හරි දෙය කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම්ගතිමි. 13 අප කළ යුත්තේ, අප උපයාගත් දෙයින් කා බී ප්‍රීති වීම ය; එය දෙවියන් වහන්සේගේ දීමනාවකි.


සුවිශේෂය/ලූක් 9:18-22

18 ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤා කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමඟ සිටියහ. එවිට උන් වහන්සේ, ''මහජනයා මා කවරෙකැ යි කියද්දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක. 19 ඔව්හු, ''සමහරු 'ස්නාවක-ජොහන් ය' කියාත් සමහරු 'එලියා ය' කියාත් අන් සමහරු, 'ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය' කියාත් කියති''යි පිළිතුරු දුන්හ. 20 ''එහෙත්, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ''ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය''යි පේදුරු පිළිතුරු දුන්නේ  ය.
21 උන් වහන්සේ මෙ‍ය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක. 22 තවද, ''මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ''යි වදාළ සේක. 




Comments