අද සුපුවත -සැප්තැම්බර් මස 28- ඉරිදා

පළමු කියවීම /එසකියෙල් 18:25-28
 25 ''එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය''යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද? 26 ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ, තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසා ය. 27 යළිත්, දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී, නීති ගරුක ව ද අවංක ව ද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ ය. 28 ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය. 

දෙවන කියවීම /පිලිප්පි 2:1-5
 1 ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද? 2 එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න. 3 පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න. 4 සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න. 5 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා! 

සුවිශේෂය /මතෙව්  21:28-32
   28 තවදුරටත් ජේසුස් වහන්සේ කතා කරමින්, ''ඔබ මේ ගැන කුමක් සිතන්නහු ද? එක් මිනිසෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ; ඔහු වැඩිමලා ළඟට ගොස්, 'දරුවා යන්න; අද මිදි වත්තේ වැඩ කරන්නැ'යි කී ය. 29 ඔහු උත්තර දෙමින්, 'නොයමි'යි කී ය. එහෙත්, පසුව පසුතැවිලි වී වැඩට ගියේ ය. 30 පියා දෙවැන්නා ළඟට ගොස් ඔහුටත් මුලින් කී දේ ම කී ය. ඔහු උත්තර දෙමින්, 'ස්වාමීනි, යමි'යි කී ය, එහෙත් නොගියේ ය. 31 ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත ඉටු කෙළේ කවරෙක් දැ''යි ඇසූ සේක. ''වැඩිමලා''යි ඔව්හු කී හ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ''සැබැවින් ම මම ඔබට කියමි, අයකැමියෝත්, වෙසඟනෝත් ඔබට පළමුවෙන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට පැමිණෙති. 32 මන්ද, ජොහන් ධර්මිෂ්ඨ මාර්ගය පෙන්වන පිණිස ඔබ වෙත ආවේ ය. ඔබ ඔහු විශ්වාස කෙළේ නැත. එහෙත්, අයකැමියෝත් වෙසඟනෝත් ඔහු විශ්වාස කළහ. ඔබ එය දැක ඉන්පසුව වත් ඔහු කෙරෙහි විශ්වාස කරන පිණිස පසුතැවී සිත් හරවා නොගත්තහු ය''යි වදාළ සේක.

Comments