අද සුපුවත -සැප්තැම්බර් මස 29

අග්‍ර දුත මිකායෙල් ,ගාබ්‍රියෙල් ,රෆායෙල් මංගල්‍යය 
සමිදුනි මාගේ මුළු හදින්ම ඔබ වහන්සේට තුති පුදන්නෙමි 

පළමු කියවීම /දානියෙල් 7:9-10,13-14
 9 මා බලා සිටිය දී, සිංහාසන පිහිටුවනු ලදුව පෞරාණිකයාණෝ අසුන් ගත්හ. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය; හිසකේ පිරිසිදු ලොම් මෙන් සුදු ය. උන් වහන්සේගේ සිංහාසනය ගිනි ජාලාවකි. එහි රො‍‍්ද ඇවිලෙන ගිනි ය. 10 ගිනිමය ගංගාවක් උන් වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේ ය. ලක්ෂ සංබ්‍යාත පිරිසක් උන් වහන්සේට උපස්ථාන කළහ. කෝටි ප්‍රකෝටි සංබ්‍යාත පිරිසක් උන් වහන්සේ ඉදිරියේ සිටියහ. අධිකරණ සභාව අසුන් ගත්තා ය. පොත් දිගඅරින ලද්දේ ය. 13 තවදුරටත් බලා සිටිය දී මම රාත්‍රි දර්ශනවල දී මෙසේ දිටිමි. මනුෂ්‍ය-පුත්‍රයා වැනි කෙනෙක් අහසේ වලාකුළු පිරිවරා අවුත් පෞරාණිකයාණන් වෙත එළඹුණේ ය. උන් වහන්සේ පෞරාණිකයාණන් වෙත පමුණුවනු ලැබූ සේක. 14 සියලු ජනයන් ද ජාතීන් ද භාෂාවන් ද උන් වහන්සේට සේවය කරන පිණිස පාලන බලය ද ගෞරවය ද රාජ්‍යය ද උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේගේ පාලනය පහ නොවන සදාකාලික පාලනයක් ය. උන් වහන්සේගේ රාජ්‍යය කිසි කලෙක නැති නොවන්නේ ය.''
සුවිශේෂය /ජොහාන් 1:47-51

47 ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, ''මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ''යි ඔහු ගැන වදාළ සේක. 48 ''ඔබ මා ගැන කෙසේ දන්නෙහි දැ''යි නතානියෙල් උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ''පිලිප් ඔබ කැඳවන්නටත් පෙර, අත්තික්කා ගස යට ඔබ සිටිනු මම දිටිමි''යි වදාළ සේක. 49 නතානියෙල් උත්තර දෙමින්, ''ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය''යි කී ය. 50 ජේසුස් වහන්සේ ද පිළිතුරු දෙමින්, ''ඔබ අත්තික්කා ගස යට සිටිනු මම දිටිමි, යි මා ඔබට වදාළ බැවින් ද, ඔබ අදහා ගත්තේ? මීට වඩා මහත් දේ ඔබ දකින්නෙහි ය''යි වදාළ සේක. 51 තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, ''ඒකාන්තයෙන් මම ඔබට කියමි; ස්වර්ගය විවර වී, මනුෂ්‍ය-පුත්‍රයාණන් වෙත දෙවියන් වහන්සේගේ දූතයන් නැඟ යනවාත්, බැස එනවාත් ඔබ දකින්නෙහි ය''යි වදාළ සේක.


Comments