ඔක්තෝබර් මස 02-බ්‍රහස්පතින්දා -රැකවල් දේව දුතයන්ගේ මංගල්‍යය


 රැකවල් දේව දුතයන්ගේ මංගල්‍යය

 සමිදුනි මාගේ මුළු හදින් ඔබ වහන්සේට තුති පුදන්නෙමි

පළමු කියවීම / නික්මයාම 23:20-23

20 ''බලන්න, මාර්ගයේ දී නුඹලා ආරක්ෂා කිරීමටත්, මා සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි. 21 ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය. 22 එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි. 23 මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි. 

සුවිශේෂය / මතෙව් 18:1-5,10

 1 එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ''ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ''යි ඇසූහ. 2 එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: 3 ''සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය. 5 තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.''

10 ''මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, 'ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති'යි මම ඔබට කියමි. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය. 

Comments