අද සුපුවත -සැප්තැම්බර් මස 05 -


සමිදුන් ,මිදිවැල  අපි වෙමු 

පළමු කියවීම/යෙසායා 5:1-7

1 මාගේ පෙම්වතාට ඔහුගේ මිදි වත්ත ගැන මම ගී ගයමි. 
මා පෙම්වතාට මිදි වත්තක් සරුසාරවත් කඳු බෑවුමක තිබිණි. 
2 ඔහු බිම හාරා ගල් ඉවත්කර, ඉතා හොඳ මිදි වැල් පැළකර, ඒ මැද මුරකොටුවක් ගොඩ නඟා, මිදියුසට තටාකයක් සාදා, හොඳ මිදි පල ලබන්න බලා සිටියේ ය. 
අහෝ! එහෙත්, එහි හටගත්තේ වල් මිදි පමණකි. 
3 ඒ නිසා මාගේ පෙම්වතා මෙසේ කියයි; ''ජෙරුසලමේ හා ජුදාවේ වැසියෙනි, 
මා හා මාගේ මිදි වත්ත අතරේ විනිශ්චය කරන්න. 
4 මාගේ මිදි වත්ත උදෙසා මා කළ දේට අමතර ව තවත් කිසිවක් කරන්නට තිබුණේ ද? 
එසේ නම්, හොඳ මිදි පල මා බලාපොරොත්තු වන නමුත්, එහි වල් මිදි පල හට ගන්නේ මන් ද? 
5 මෙන්න, මාගේ මිදි වත්තට කරන්න යන දේ මම නුඹලාට කියමි. 
මම එහි වටේට ඇති වැට ඉවත්කර, ආරක්ෂා පිණිස ඇති තාප්පය බිඳදමා, වන මෘගයන්ට මිදි වත්ත පාගා කා දමන්න ඉඩ හරින්නෙමි. 
6 එය පාළු වන්න හරින්නෙමි. 
මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. 
එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. 
එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.'' 
7 සව් බලැති සමිඳුන්ගේ මිදි වත්ත නම්, ඉශ්රායෙල් වංශය ය. 
එතුමාණන් ප්‍රිය කළ මිදි වැල් නම්, ජුදාහි සෙනඟ ය. 
ඔවුන් යුක්තිය ඉටු කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඔවුන් කෙළේ මිනී මැරීම ය; 
ඔවුන් දැහැමිකම් කරනු ඇතැ යි එතුමන් බලා සිටි නමුත්, ඇති වූයේ විලාප නැඟීම ය.



දෙවන කියවීම/ පිලිප්පි 4:6-9

 ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න. 7 එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය. 
8 අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න. 9 ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.

සුවිශේෂය/මතෙව් 21:33-43

33 ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළ සේක: ''මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදි වත්තක් වවා එය වටා වැට බැඳ, එහි මිදි යන්ත්‍රයකට වළක් කැණ, මුර අට්ටාලයක් ඉදි කොට, එය ගොවීන්ට අඳේට දී පිටරට ගියේ ය. 34 අස්වැන්න කාලය ළං වූ කල, පලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවී ය. 35 එවිට ගොවීහු ඔහුගේ දාසයන් අල්ලා එකෙකුට තැළූ හ; එකෙකු මැරූ හ; තව එකෙකුට ගල් ගැසූ හ. 36 යළිත්, ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවී ය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙර සේ ම කළහ. 37 අන්තිමට ඔහු, 'මාගේ පුතණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත' කියා සිය පුත්‍රයා ඔවුන් වෙත යැවී ය. 38 එහෙත්, ගොවීහු පුත්‍රයා දැක, 'මේ උරුමක්කාරයා ය; එන්න, මොහු මරාදමා මොහුගේ උරුමය ගනිමු'යි ඔවුනොවුන් අතර කතා කොට, 39 ඔහු අල්ලා මිදි වත්තෙන් පිටතට දමා මැරූ හ. 40 එහෙයින් ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද් ද?'' 41 ඔව්හු කතා කොට, ''ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට, නියම කන්නයේ දී තමාගේ අස්වැන්න කොටස දෙන, වෙන ගොවීන්ට මිදි වත්ත භාර දෙනු ඇතැ''යි කී හ. 42 ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළ සේක: 
'' 'ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම, කොණේ ප්‍රධාන ගල වී ඇත. 
මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. 
අපේ ඇස් හමුයෙහි එය විස්මයජනක ය' 
යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද් ද? 43 එබැවින් මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම පල උපදවන ජාතියකට දෙනු ලබන්නේ ය. 

Comments