ඔක්තෝබර් මස 12 ඉරිදා


සමිදාණන්ගේ නිවාසය මගේ සදාතන වාසය වන්නේය 



පළමු කියවීම/යෙසායා 25:6-10                                                                    
6 සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක. 7 මෙහි දී උන් වහන්සේ සියලු ජාතීන් වසාගෙන පැවති දුක නමැති වලාකුළ පහකරන සේක. 8 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය. 
9 එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. ''බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු"

දෙවන කියවීම/ පිලිප්පි 4:12-14,19-20                                                                          
 මම පහත් තත්ත්වයක සිටින්නට ද සමෘද්ධ ව, සිටින්නට ද දනිමි. මා කුමන තත්ත්වයක කොහි සිටියත් සෑහීමට පැමිණ සිටින්නටත්, සාගින්නෙන් සිටින්නටත්, සමෘද්ධ ව සිටින්නටත්, අගහිඟකම් ඇති ව සිටින්නටත් හැකි, රහස ඉගෙනගෙන සිටිමි. 13 මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය. 14 කෙසේ වුව ද, මාගේ පීඩාවල දී ඔබ මට උපකාර කිරීම කොතරම් හොඳ ද? 19 මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක. 20 අපගේ පිය වූ දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.


සුවිශේෂය/මතෙව් 22:1-14 
1 යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක: 2 ''ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. 3 ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ. 4 යළිත් ඔහු වෙන දාසයන් යවා, 'මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ'යි කී ය. 5 එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ. 6 සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ. 7 රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය. 8 එවිට ඔහු තම දාසයන්ට කතා කොට, 'මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. 9 එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ'යි කී ය. 10 ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය. 11 එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක, 12 'මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ'යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය. 13 එවිට රජතුමා කතා කොට, 'මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය'යි සේවකයන්ට කී ය. 14 මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.''

Comments