අද සුපුවත -ඔක්තෝබර් 15

අද සුපුවත -ඔක්තෝබර් 15

සමිදුනි ඔබවහන්න්සේ අනුගාමි වන්නා  ජීවනයේ ආලෝකය ලබන්නේය 

පළමු කියවීම/ගලාති 5:18-25

 18 එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය. 19 මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම, 20 රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්, 21 වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.22 එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, 23 මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත. 24 ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත. 25 අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු. 26 නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කො‍්ප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.

සුවිශේෂය/ලූක් 11:42-46

42 ''පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ සුවඳතලාවලින් ද සුදුදුරුවලින් ද සියලු පලාවලින් ද දසයෙන් කොටස දෙන නමුත් යුක්ති ධර්මය ද දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ද නොසලකා හරින්නාහු ය. ඔබ කළ යුතු ව තිබුණේ ඒ දේත් හැර නොදමා මේ දේත් ඉටු කිරීම ය. 43 පරිසිවරුනි, ඔබට වන විපතක මහත! ඔබ ධර්මශාලාවල දී උසස් ආසන ද වෙළෙඳාම් පළවල දී ගෞරවාචාර ද ලැබීමට ආශා ඇත්තාහු ය. 44 ඔබට වන විපතක මහත! ඔබ නොපෙනෙන සොහොන් ගෙවලට සමාන ය; ඒ මත ඇවිදින අය, නොදැන එසේ කරති.''
45 විනයධරයන්ගෙන් එක් තැනැත්තෙක් උත්තර දෙමින්, ''ගුරුදේවයෙනි, ඔබ මෙ‍සේ කීමෙ‍න් අපටත් අපහාසයක්, කරන සේකැ''යි කී ය. 46 උන් වහන්සේ ඔහුට මෙ‍සේ පිළිතුරු දුන් සේක: ''විනයධරයෙනි, ඔබට වන විපතක මහත! ඉසිලිය නොහැකි බර ඔබ මිනිසුන් පිට පටවන්නාහු ය. එහෙත් ඒ බරට ඔබගේ එක ඇඟිල්ලක් වත් නොතබන්නාහු ය. 

Comments