අද සුපුවත -ඔක්තෝබර් 16

අද සුපුවත -ඔක්තෝබර් 16

සමිදාණෝ, සිය ජයග්‍රහණය ප්‍රකාශ කරන සේක.

පළමු කියවීම/එපීස 1:1-10


දේව කැමැත්තෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වන පාවුලු නම් මම, එපීසයේ සිටින, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන සැදැහැවතුන් වෙත ලියමි. 2 අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාව හා ශාන්තිය ඔබ හට වේ වා! ක්‍රිස්තුන් වහන්සේ තුළින් ස්වර්ගීය ස්ථානවල සියලු ආධ්‍යාත්මික ආශීර්වාද අපට දෙවා වදාළ, අපගේ ස්වාමීන් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! 4 ප්‍රේමයෙන් උන් වහන්සේ ඉදිරියෙහි අප ශුද්ධ ව නොකැළැල් ව සිටින පිණිස, ලෝකය මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ දෙවියන් වහන්සේ අප තෝරාගත් සේක. 5 තවද ස්වකීය ප්‍රසාදය හා අරමුණ අනුව, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ, අප දරුකමට පිළිගන්න පිණිස, දෙවියන් වහන්සේ පෙර නියම කළ සේක. 6 උන් වහන්සේ එසේ කළේ තමන් වහන්සේගේ ප්‍රේමයාණන් වහන්සේ තුළ අපට දේව වරප්‍රසාදය අනුව ලබාදුන් මහිමාන්විත කරුණාවේ ප්‍රශංසාව සඳහා ය. 
7 ක්‍රිස්තුන් වහන්සේගේ යාගික රුධිරය කරණකොටගෙන, දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්පතේ ප්‍රකාරයට අපට මිදීමත්, පව් කමාවත් ලැබී ඇත. 8 ඒ වරප්‍රසාදය, සියලු ප්‍රඥාවෙන් හා නුවණින් උන් වහන්සේ අපට බහුල ව ප්‍රදානය කර, 9 උන් වහන්සේගේ කැමැත්තේ අබිරහස අපට දන්වා වදාළ සේක. එසේ කරන ලද්දේ, තමන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ තුළ, සිය කැමැත්තෙන් නියම කරගත් ස්වකීය අභිප්‍රාය අනුව ය. 10 දෙවියන් වහන්සේගේ ඒ අභිප්‍රාය නම්, නියමිත කාලයේ දී ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, එනම් මුළු විශ්වයෙහි ඇති සියල්ල, ක්‍රිස්තුන් වහන්සේ යටතේ එක්සත් කිරීම ය.

සුවිශේෂය/ලූක් 11:47-54

47 ඔබට වන විපතක මහත! ඔබගේ පියවරුන් අතින් මැරුම්කෑ දිවැසිවරයන්ගේ සොහොන් කොත් ඔබ ගොඩනඟන්නාහු ය. 48 එසේ කිරීමෙ‍න් ඔබගේ පියවරුන්ගේ ඒ ක්‍රියා ඔබ අනුමත කරන බව සහතික කරන්නාහු ය; ඔව්හු ඔවුන් මැරූ හ. ඔබ ඔවුන්ගේ සොහොන් කොත් ගොඩනඟන්නාහු ය. 49 එහෙයින් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පවසන ලෙස: 'දිවැසිවරයන් ද ප්‍රේරිතයන් ද ඔවුන් වෙත යවන්නෙමි; මනුෂ්‍යයෝ ඔවුන්ගෙන් ඇතැමෙ‍කුට තළා පෙළා ඇතැමෙ‍කු මරාදමති.' 50 මෙ‍සේ ආබෙල්ගේ මරණයේ පටන්, පූජාසනය හා ශුද්ධස්ථානය අතර මරන ලද සෙකරියස්ගේ මරණය දක්වා, 51 ලෝකය මැවීමේ සිට වගුරුවන ලද සියලු දිවැසිවරයන්ගේ ලේ ගැන මේ පරම්පරාව වගකිව යුතු ය. එසේ ය, මේ පරම්පරාව ඒ ගැන වගකිව යුතු යයි මම ඔබට කියමි. 52 විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.''53 උන් වහන්සේ එතැනින් ආ කල්හි විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේ කටවචනයෙන් අල්ලාගනු වස් මාන බලමින්, 54 බොහෝ දේ ගැන, විවාදයට පොළඹවනු පිණිස උන් වහන්සේ අවුස්සාලීමට පටන්ගත්හ.


Comments