පළමු කියවීම/ජෝබ් 7:1-4,6-7
1 ''මිහි මත මිනිස් ජීවිතය සටනක් නොවන්නේ ද?
එය දවසේ කුලියට වැඩ කරන කුලීකරුවෙකුගේ දිවිය මෙන් නොවේ ද?
2 තුරු සෙවණෙහි විවේකය සොයන වහලෙකු මෙන් ද වැටුප ගෙවන තුරු බලා හිඳින කුලීකරුවෙකු මෙන් ද
3 මසින් මසට පාළු සිතින් කල්යැවීමට මට නියම ව ඇත;
රැයින් රැය මම දුකින් දුකට පත්වන්නෙමි.
4 මම නින්දට යන කල, 'රැය ගෙවී කොයි වේලේ නැඟිටිම් දැ'යි කියා ගනිමි.
පහන් වන තුරු ඒ මේ අත පෙරළෙමින් සිටින්නෙමි.
6 බලාපොරොත්තු රහිත ව මම දවස් යවමි;
ඒවා නූල් කටින නඩාව මෙන් යුහුව දුව යයි.
7 ''දෙවි සමිඳුනි, මාගේ දිවිය සුළං රොදක් පමණක් බව සිහි කරන්න;
වාසනාව මින් මතු මා නොදකිනු ඇත.
දෙවන කියවීම/1 කොරින්ති 9:16-19,22-23
16 මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි. 17 මාගේ ම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම්, වැටුපක් ලබාගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා, එම සේවය කරම් නම්, මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙස ය. 18 එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.
19 මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.
22 දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්රියා කෙළෙමි.23 මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය.
සුවිශේෂය /මාක් 1:29-39
29 ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ. 30 සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. 31 උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.
32 සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. 33 නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. 34 උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.
35 හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක. 36 සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්, 37 සම්මුඛ වී, ''හැම දෙන ම ඔබ සොයති''යි පැවසූ හ. 38 උන් වහන්සේ උත්තර දෙමින්, ''අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය''යි වදාළ සේක. 39 උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Comments
Post a Comment