Ada Supuwatha අද සුපුවත 19.02.2015

සමිදුන් තුල බලාපොරොත්තු වෙන් ප්‍රීති වන්නෝ භාග්‍යවන්තයෝය


පළමු කියවීම/ද්විතීය නීති සංග්‍රහය 30:15-20

15 බලන්න, මම අද ඔබ ඉදිරියෙහි ජීවනය සහ සැපත ද මරණය සහ විපත ද තැබීමි. 16 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙදින දෙන පණත් ඔබ අනුගමනය කරන්නහු නම්, ඔබ ඒ රටේ පදිංචි වෙමින්, වැඩි වර්ධනය වී ජීවත් වන්නහු ය. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මඟ හැසිරෙමින්, උන් වහන්සේගේ ආඥා ද නීති හා නියෝග ද ව්‍යවස්ථා ද පිළිපදින්නහු නම්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක. 17 එහෙත්, ඔබ අකීකරු වී ඔබේ සිත අන් අතකට හැරී ගොස් අනිකුත් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදී ගියොත්, 18 ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි. 19 මා ඔබ ඉදිරියෙහි ජීවනය හෝ මරණය ද ආශීර්වාදය හෝ සාපය ද අද තැබූ බවට, ඔබට විරුද්ධ ව සාක්ෂි දරන පිණිස අහසත්, පොළොවත් කැඳවමි. එබැවින් ඔබත්, ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරාගන්න. 20 දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්න දිවුළ දේශයෙහි ඔබ පදිංචි වන පිණිස උන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ හඬට කීකරු වී උන් වහන්සේට ඇලුම් ව සිටිය යුතු ය. එසේ කිරීමෙන් චිරාත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහු ය.

සුවිශේෂය/ලූක් 9:22-25

22 තවද, මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණින් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැයි වදාළ සේක.
23 ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට, යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා, දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවා වේ. 24 සිය ජීවිතය රැක ගන්න කැමැති යමෙක් වේ ද, ඔහු එය නැති කරගනියි; මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේ ද ඔහු එය රැකගනියි. 25 යමෙකු මුළු ලෝකය ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත්, නැත්නම්, විනාශ කර- ගතහොත් ඔහුට කුමන ලාභයක් ද?



Comments