Ada Supuwatha අද සුපුවත 25.02.2015

දෙවිඳුනි ,ඔබ තැලුණු බිඳුණු සිත් ඉවත නොදමන සේක

පළමු කියවීම/ ජෝනා 3:1-10

1 සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2 ''නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ''යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3 එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4 ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, ''තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ''යි මොරගසා ප්‍රකාශ කෙළේ ය. 
5 නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. 

6 ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය. 7 එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: 

''මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! 8 මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා! 9 අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.'' 

10 දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.

 

සුවිශේෂය/ලූක්  6:7-15

29 සමූහයා උන් වහන්සේ වෙත රැස් කකා එද්දී උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: ''මේ පරම්පරාව නපුරු එකකි; ඔව්හු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. 30 ජෝනා නිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වී ද එසේ ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ මේ පරම්පරාවට ලකුණක් වන සේක. 31 දේව විනිශ්චය දවසේ දී, දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධ ව නැඟිට ඔවුන් වරදට පත් කරන්නී ය; ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනු වස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියා ය. බලන්න, සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ. 32 නිනිවයේ මනුෂ්‍යයෝ විනිශ්චය දවසේ දී මේ පරම්පරාව සමඟ නැඟී සිට ඔවුන් වරදට පත් කරන්නො‍් ය; මන්ද, ජෝනාගේ ධර්ම දේශනා අසා ඔව්හු පසුතැවී සිත් හරවා ගත්හ. බලන්න, ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙ‍හි තිබේ.''

--

Comments