සමිදුනි,ඔබේ කරුණා ගුණය සිහි කල මැනව
පළමු කියවීම/ දානියෙල්
1:2,11-20
2 අසරියා ගින්න මැද සිටගෙන මේ පිළිවෙළට යාච්ඤා කෙළේ ය.
11 අහෝ ඔබගේ නාමය උදෙසා අපව සදහට ම අත් නොහළ මැනව. ඔබගේ ගිවිසුම ප්‍රතික්ෂේප නොකළ මැනව. 12 ඔබගේ මිත්‍රයා වන ආබ්‍රහම් නිසා ද ඔබගේ සේවකයා වන ඊසාක් නිසා ද ඔබගේ ශුද්ධ ජනයා වන ඉශ්රායෙල්වරුන් නිසා ද ඔබගේ කරුණාව අප වෙතින් ඉවත් නොකළ මැනව.
13 අහසේ තාරකා මෙන් ද මුහුදු වෙරළේ වැලි ඇට මෙන් ද ගණන් නොකළ හැකි පෙළපතක් පෙර කී අයට දීමට ඔබ පොරොන්දු වූ සේක.14 සමිඳුනි, අපගේ පව් නිසා දැන් අපි සියලු ජාතීන් අතර ඉතා අල්ප ජාතිය වී සිටිමු.
ලොව පුරා අපි හෙළා දකිනු ලැබ සිටිමු.
15 මෙකල අපට නායකයෙක් නැත.
දිවැසිවරයෙක් නැත.
රාජකුමාරයෙක් නැත.
දවන යාග පූජාවක් නැත.
පූජා පඬුරක් නැත.
ඔප්පු කිරීමට දෙයක් නැත.
සුවඳ දුම් නැත.
16 නාඹුල් ඵල ඔබට පුදා ඔබේ ප්‍රසාදය දිනාගැනීමට තැනක් නැත.
දවන යාග පූජා සඳහා බැටළුවන් සහ වස්සන් ද
17 තර කළ බැටළුපැටවුන් දහස් ගණන් ද පිළිගන්නාක් මෙන් අපගේ මනස්ස්ථාපනය වූ සහ බැහැපත් හද ඔබ පිළිගන්න සේක් වා!
අද අපේ පුද පූජා එසේ පිළිගනු ලැබේ වා!
ඔබ කෙරෙහි බලාපොරොත්තුව තබන අයගේ බලාපොරොත්තු ඉටු නොවී නොයන බැවින් අප මුළු සිත යොදා ඔබ අනුගමනය කිරීම ඔබගේ කැමැත්ත වේ වා!
18 ඔබ පසුපස යෑමට ද ඔබට ගරුබිය පෑමට ද ඔබගේ කරුණාව සෙවීමට ද දැන් අපි අපේ මුළු සිත යොදමු.
19 අපගේ බලාපොරොත්තුව කඩ නොකළ මැනව.
ඔබ කාරුණික සේ ම අපට ද කාරුණික ලෙස සංග්‍රහ කළ මැනව.
බහුල ව දයාව පෙන්නුව මැනව.
20 සමිඳුනි, ඔබගේ අරුමපුදුම ක්‍රියාවලට ඔබින ලෙස අපට විමුක්තිය දුන මැනව.
ඔබගේ නාමය මහිමාන්විත කළ මැනව.
සුවිශේෂය/ මතෙව් 18:21-35
21 එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ''ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. 22 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ''සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.23 ''මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය. 24 ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය. 25 ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය. 26 එවිට ඒ දාසයා දණින් වැටී, 'මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි'යි කී ය. 27 ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
28 එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, 'මගේ ණය ගෙවාපන්නැ'යි කී ය. 29 එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, 'මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි'යි කන්නලව් කරමින් කී ය. 30 එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
31 ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ. 32 එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, 'දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි. 33 මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ'යි ඇසී ය. 34 ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය. 35 ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.''

Comments
Post a Comment