Ada Supuwatha අද සුපුවත 11.03.2015

ජෙරුසලෙම ,සමිදුන්ට ප්‍රශංසා කරන්න

පළමු කියවීම/ ද් .නී .සං   4:1,5-9

1 මෝසෙස් ඉශ්රායෙල්වරුන්ට කතා කොට මෙසේ කී ය: ''ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශයට ඇතුළු වී, එය අයිති කරගෙන, එහි ජීවත් වන පිණිස, ඔබ විසින් ඉටු කළ යුතු, මා ඔබට උගන්වන නීති හා නියෝගයන්ට, ඉශ්රායෙල්වරුනි, දැන් ඉතින් සවන් දෙන්න.

5 ''මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය. 6 ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියෙහි ඔබේ පැණවත්කමත්, නැණවත්කමත් කැපී පෙනෙනු ඇත. මේ නීති සියල්ල ගැන ඔවුන්ට සැළ වන විට, 'මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනඟ කෙතරම් පැණවත් ද නැණවත් ද' කියා ඔවුන් විස්මපත් වනු ඇත. 
7 ''අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද? 8 මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද? 9 පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.


සුවිශේෂය/ මතෙව් 5:17-19

17 ''මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ, ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමට ය. 18 සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපූර්ණ වන තුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් වත් පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු ය යි කියනු ලබන්නේ ය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් ය යි කියනු ලබන්නේ ය. 20 මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත්, ඔබ කිසි සේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නහු ය යි ඔබට කියමි.''

Comments