Ada Supuwatha 14.03.2015 අද සුපුවත


සමිදුනි ඔබ දවන යාගයට වඩා කරුණාව අගය කරන සේක
පළමු කියවීම/ හොසියා 6:1-6
1 ''එන්න; අපි සමිඳාණන් වහන්සේ වෙත හැරී යමු; අප ඉරාදැම්මේ උන් වහන්සේ ය; අප සුව කරන්නේත් උන් වහන්සේ ය; අපට පහර දුන්නේත් උන් වහන්සේ ය; අපේ තුවාළ බඳින්නේත් උන් වහන්සේ ය. 2 දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු. 3 අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ''යි සෙනඟ කියති.
4 ''අහෝ! එප්‍රායිම්වරුනි, මම නුඹලාට කුමක් කරම් ද? අහෝ! ජුදාවරුනි, මම නුඹලාට කුමක් කරම් ද? නුඹලාගේ ප්‍රේමය අලුයම මීදුම වැනි ය; වහා නැති වී යන පිනි වැනි ය. 5 එබැවින් මම විනිශ්චයය ද විනාශයේ පණිවුඩය ද රැගත් මාගේ දිවැසිවරයන් ඔබට විරුද්ධ ව එව්වෙමි. මාගේ සෙනඟගෙන් මා බලාපොරොත්තු වන දේ සක්සුදක් සේ පැහැදිලි ය. 6 මම පූජාවලට වඩා කරුණාවට කැමැත්තෙමි; දවන යාග පූජාවලට වඩා දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයට කැමැත්තෙමි.''
සුවිශේෂය/  ලූක් 18:9-14
9 තමා සිල්වත් යයි සිතමින්, අන් හැම දෙන හෙළා දුටු ඇතැම් අයට උන් වහන්සේ මේ උපමාව ද වදාළ සේක. 10 ''මිනිසුන් දෙදෙනෙක් යාච්ඤාව පිණිස දේව මාලිගාවට නැඟී ගියහ; එක් කෙනෙක් පරිසිවරයෙකි; අනික් තැනැත්තා අයකැමියෙකි. 11 පරිසිවරයා නැඟී සිට පසෙකට වී තනියම යාච්ඤා කරමින්, 'දෙවියන් වහන්ස, මා අන් මිනිසුන් මෙ‍න් වස්තු ලෝභී, වංචනික, කාමමිථ්‍යාචාරී තැනැත්තකු නොවන බැවින් ඔබට තුති පුදමි. මම මේ අයකැමියා වැන්නෙක් ද නොවෙමි. 12 සතියකට දෙවරක් උපවාස කරමි; මා උපයන සියල්ලෙන් දහයෙන් කොටස දෙමි'යි කී ය. 13 එහෙත් අයකැමියා ඈතින් සිට ස්වර්ගය දෙස ඇස් ඔසවා බලන්නට වත් නොසිතා, තමාගේ ළයට ගසාගනිමින්, 'දෙවියන් වහන්ස, පව්කාර වූ මා හට කරුණා කළ මැනවැ'යි කී ය. 14 මෙ‍ය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.''

Comments