Ada Supuwatha අද සුපුවත 17.03.2015

සව් බලැති දෙවි සමිදාණෝ අප සමගය


පළමු කියවීම/ එසේකියෙල් 47:1-9,12

1 පසු ව ඒ මනුෂ්‍යයා දේව මාලිගාවේ දොරකඩ ළඟට මා නැවත පැමිණෙව්වේ ය. එවිට දේව මාලිගාවේ එළිපත්තට යටින් නැගෙනහිර දෙසට වතුර ගලා යන බව මම දිටිමි. මන්ද, දේව මාලිගාවේ ඉස්සරහ පැත්ත නැගෙනහිර දෙසට තිබුණේ ය. ඒ වතුර දේව මාලිගාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එළිපත්ත යටින් ගලා ආවේ ය. 2 එකල ඔහු මා උතුරු ද්වාර මණ්ඩපයෙන් පිටතට ගෙනගොස්, නැගෙනහිරට මුහුණ පා තිබුණු පිටත දොරටුව ළඟට වටකරින් මා පැමිණෙව්වේ ය. එවිට වතුර දකුණු පැත්තෙන් වැගිරෙනු දිටිමි. 3 ඒ මනුෂ්‍යයා තමාගේ අතින් ලණුව රැගෙන නැගෙනහිර දෙසට යමින් මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට ඔහු මට වතුර මැදින් එගොඩට යන්න කීවේ ය. වතුර වළලුකර දක්වා තිබුණේ ය. 4 ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මට යන්න කීවේ ය. වතුර දණ හිස් දක්වා තිබුණේ ය. ඔහු තව මීටර් පන්සියයක් මැන වතුර මැදින් මා යැව්වේ ය. එතැන වතුර ඉඟටිය දක්වා තිබුණේ ය. 5 ඔහු තව මීටර් පන්සියයක් මැන්නේ ය. එවිට එය මට බැස යන්න බැරි ගඟක් ව තිබුණේ ය. මන්ද, බැස යන්න බැරි ගඟක් ව පීනන්න වුවමනා තරමට වතුර ඉහළට නැඟ තිබුණේ ය. 6 එවිට ඔහු කතා කරමින්, ''මනුෂ්‍ය පුත්‍රය, නුඹ මෙය දුටුවෙහි දැ''යි මාගෙන් අසා, මා කැඳවාගෙන නැවත ගං ඉවුරට පැමිණෙව්වේ ය. 

7 මම හැරී ගිය කල, ගං ඉවුර දෙපැත්තෙන් ම බොහෝ ගස් තිබෙනු දිටිමි. 8 ඔහු කතා කරමින්, ''මේ වතුර නැගෙනහිර දිශාවට ගලා ගොස්, අරබා සමභූමියට බැස ගොස්, එහි මළ මුහුදට ඇතුළු වූ විට ජලය මිරිදියට හැරුණේ ය. 9 මේ ගංගා ගලා යන සෑම තැන ම රාශි ගණන් පණ ඇති සියලු ම සත්ත්වයෝ ජීවත් වන්නෝ ය. එසේ මත්ස්‍යයන් මහා ගණනක් හටගනු ඇත. මන්ද, මේ වතුර එහි පැමිණි විට අනික් ඒවා මිරිදිය වන්නේ ය. ගංගාව ගලා යන කොතැනක වුව ද සිටින සියල්ලන් ජීවත් ව සිටිනු ඇත. 12 ගඟ ඉවුරේ දෙපැත්තේ ම සියලු ආකාර පලතුරු වැවෙන්නේ ය. ඒවායේ කොළ වේළෙන්නේ වත්, ඒවායේ පල වරන්නේ වත් නැති ව හැම මාසයේ ම අලුත් පල දරන්නේ ය. මන්ද, ඒවායේ වතුර ශුද්ධස්ථානයෙන් ම නික්ම එන්නේ ය. ඒවායේ පල ආහාර පිණිසත්, ඒවායේ කොළ ඖෂධ පිණිසත් වන්නේ ය''යි කී ය.


සුවිශේෂය/ ජොහන්  5:1-3,5-16

1 ඉන්පසු ජුදෙව්වරුන්ගේ මංගල්‍යයක් විය. ජේසුස් වහන්සේ ද ජෙරුසලමට වැඩම කළ සේක. 2 ජෙරුසලමෙහි බැටළු දොරටුව ළඟ, හෙබ්‍රෙව් බසින් 'බෙතෙස්දා' යයි නම් ලත් පොකුණක් විය. එය අවට ද්වාර මණ්ඩප පහක් විය. 3 ඒවායෙහි අන්ධ වූ ද කොර වූ ද අංශභාග වූ ද රෝගීන් සමූහයක් ඔත්පළ ව සිටියෝ ය. 
5 එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය. 6 ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක, ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන, ''ඔබ සුව වීමට කැමැති දැ''යි ඔහුගෙන් ඇසූ සේක. 7 රෝගියා උන් වහන්සේට උත්තර දෙමින්, ''ස්වාමීනි, වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර, අන් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ ය''යි කීවේ ය. 8 ''නැඟිට ඔබේ පැදුර රැගෙන යන්නැ''යි ජේසුස් වහන්සේ ඔහුට වදාළ සේක. 9 එකෙණෙහි ම මිනිසා සුවපත් වී, සිය පැදුර රැගෙන යන්නට ගියේ ය. 
එය සබත් දවස විය. 10 එබැවින් ජුදෙව්වරු, ''අද සබත් දවස ය, පැදුර රැගෙන යෑම නීති විරෝධී ය''යි සුවය ලැබූ මිනිසාට කී හ. 11 එහෙත්, ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, ''මා සුවපත් කළ තැනැත්තා ම 'ඔබේ පැදුර රැගෙන යන්නැ'යි මට කීවේ ය''යි කී ය. 12 '' 'පැදුර රැගෙන යන්නැ'යි ඔබට කී මිනිසා කවරෙක් දැ''යි ඔව්හු විමසූ හ. 13 එහෙත් සුවපත් කරනු ලැබූ මිනිසා, ඔහු කවරෙක් දැ යි නොදත්තේ ය. මන්ද, ඒ ස්ථානයේ සමූහයා අතරින් ජේසුස් වහන්සේ සොයාගත නො හැකි වූ බැවිනි. 14 ඉන්පසු, ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී ඔහු මුණගැසී, ''බලන්න, ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පව් නොකරන්නැ''යි වදාළ සේක. 15 ඒ මිනිසා ද ගොස්, තමා සුවපත් කෙළේ, ජේසුස් වහන්සේ බව ජුදෙව්වරුන් හට සැළ කෙළේ ය. 
16
ජේසුස් වහන්සේ මෙවැනි දේ සබත් දවසේ දී කළ බැවින්, ජුදෙව්වරු උන් වහන්සේට පීඩා කළහ. 


Comments