17.05.2015 ස්වර්ගාරෝහණ මංගල්‍යය

දෙවිතුමන් හට පැසසුම් ගී ගයන්න

පළමු කියවීම/ක්‍රියා 1:1-11

1 තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2 උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3 උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4 උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, ''ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5 මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනයa කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය''යි වදාළ සේක.
6 ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, ''ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ''යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8 එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය''යි වදාළ සේක. 9 උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.
10
උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11 ''ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ''යි කී හ.
දෙවන කියවීම/හෙබ්‍රෙව් :9:24-28 ,10:19-23
24 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක. 25 නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක. 26 එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක. 27 තවද එක වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම, 28 බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.
19 එබැවින් සහෝදරවරුනි, උන් වහන්සේගේ යාගික රුධිරය හේතුකොටගෙන ශුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ. 20 උන් වහන්සේ ස්වකීය ශරීරය නමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන් සේක. 21 තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුම් පූජකයෙක් ද අපට සිටියි. 22 එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිත් ද, පිරිසිදු වතුරෙන් ධෝවනය කළ ශරීර ද ඇති ව අවංක සිතක් හා ඒකාන්ත ඇදහීමේ සහතිකය ද ඇති ව, දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු. 23 පොරොන්දුව දුන් තැනැන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තුවෙහි නොසෙල්වී, ස්ථීර ව පිහිටා සිටිමු. 
සුවිශේෂය /මාක් 16:15-20
 15 උන් වහන්සේ ඔවුන් අමතා, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18 සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති''යි වදාළ සේක.
19 මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. 


Comments