Ada Supuwatha 28.05.2015

හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය මවනු ලැබුවේය 

පළමු කියවීමසිරාක් 42 ;15-25

15 දැන් මම සමිඳුන්ගේ කෘතීන් ගැන ඔබට මතක් කරන්නෙමි. 
මා දැක තිබෙන දේ කියන්නෙමි. 
සමිඳුන්ගේ වචනවලින් සියලු කෘති පැවැත්ම ලබා ඇත.
මුළු මැවිල්ල උන් වහන්සේගේ කැමැත්තට කීකරු වන්නේ ය. 
16 කාන්තිමත් සූර්යයා සියල්ල දෙස ඕනෑකමින් බලන්නේ ය. 
සමිඳුන්ගේ කෘතිය උන් වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. 
17 තම සියලු පුදුමයන් විස්තර කරන්නට සමිඳාණෝ සිය ශුද්ධවන්තයන්ට පවා බලය නුදුන් සේක. 
ස්වකීය මහිමය ඉදිරියෙහි ලෝකය පවතින පිණිස සියලු බලැති සමිඳාණෝ එය ස්ථිර ලෙස පිහිටෙව් සේක. 
18 උන් වහන්සේ මුහුදු පත්ල ද මනුෂ්‍යයාගේ හෘදය ද සියුම් ලෙස පරීක්ෂා කර බැලූ සේක. 
ඒවායේ ඇදකුද අනාවරණය කළ සේක. 
මහො‍්ත්තමයාණන් වහන්සේ සියලු දේ දන්න සේක; 
කාලයේ ලකුණු දකින සේක. 
19 උන් වහන්සේ අතීතය ද අනාගතය ද ප්‍රකාශ කරන සේක; 
සැඟවුණු දේවල් අනාවරණය කරන සේක. 
20 උන් වහන්සේ නොදන්න කල්පනාවක් නැත. 
උන් වහන්සේගෙන් සැඟවුණු වචනයක් නැත. 
21 උන් වහන්සේ තම ප්‍රඥාවේ මහඟු කෘතීන් පිළිවෙළකට සකස් කළ සේක; 
සදාකාලයෙන් සදාකාලයට ම ජීවත් වන සේක. 
උන් වහන්සේට කිසිවක් එකතු කරන්නට වත් උන් වහන්සේගෙන් කිසිවක් ඉවත් කරන්නට වත් කිසිවෙකුට නොහැකි ය.
උන් වහන්සේට කිසිවෙකුගේ උපදේශය අවශ්‍ය නොවන්නේ ය. 
22 උන් වහන්සේගේ සියලු කෘතීහු කොපමණ ප්‍රිය ද? 
ඒවා නෙතට විදුලි බුබුලු සේ ය. 
23 මේ සියල්ල වැජඹෙමින් සදහට ම පවතින්නේ ය. 
සියලු අවස්ථාවන්හි දී ඒවා උන් වහන්සේට කීකරු වන්නේ ය. 
24 සියලු දේවල් යුගල වශයෙන් එකක් අනෙකට ප්‍රතිවිරුද්ධ ය. 
පලුදු සහිත කිසිවක් උන් වහන්සේ නොසෑදූ සේක. 
25 එක දෙයක් තවත් දෙයක විශිෂ්ටත්වය තහවුරු කරන්නේ ය. 
උන් වහන්සේගේ මහිමය මෙනෙහි කිරීමෙන් සෑහීමට පත් වන්නේ කවරෙක් ද?






සුවිශේෂය/ මාක් 10:46-52


46 ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය. 47 ''මේ වඩින්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය''යි අසා, ''දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස, මට අනුකම්පා කළ මැනවැ''යි ඔහු මොරගසන්න විය. 48 නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු, ''දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනවැ''යි වැඩි වැඩියෙන් මොරගැසී ය. 49 ජේසුස් වහන්සේ නැවතී, ''ඔහුට හඬගසන්නැ''යි වදාළ සේක. ඔව්හු අන්ධයාට හඬගසා, ''ධෛර්ය ගන්න, නැඟිටින්න, එතුමාණෝ ඔබ කැඳවන සේකැ''යි කී හ. 50 ඔහු එවිට තමාගේ සළුව ගසාදමා, පැන නැඟී ජේසුස් වහන්සේ වෙතට ආවේ ය. 51 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ''මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ''යි ඔහුගෙන් ඇසූ සේක. ''ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ''යි අන්ධයා උන් වහන්සේට කී ය. 52 ජේසුස් වහන්සේ ද, ''යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුවසම්පත ලබා දී ඇතැ''යි ඔහුට වදාළ සේක. ඒ ඇසිල්ලෙහි ම ඔහු පෙනීම ලබා මඟ දිගේ උන් වහන්සේ පසුපස්සේ ගියේ ය.

Comments