සමිදුනි ,අපට අනුකම්පා කර අප දෙස බැලුව මැනව

පළමු කියවීමසිරාක් 36:1-2,5-6,11-17

1 අධිපතියාණෙනි, සියල්ලේ සමිඳුනි, අපට අනුකම්පා කර අප දෙස බැලුව මැනව. 
සියලු ජාතීන් පිට ඔබ කෙරෙහි බිය පතුරුවා හැරිය මැනව. 
2 විදේශීය ජාතීන්ට විරුද්ධ ව ඔබේ හස්තය එසෙව්ව මැනව. 
ඔව්හු ඔබේ බලපරාක්‍රමය දකිත් වා! 
5 ඔබේ ආශ්චර්යයන් නැවතත් සිදු කළ මැනව. 
නව අරුමපුදුම දේ කළ මැනව. 
ඔබගේ හස්තය ද දකුණු මහා බාහුව ද මහිමය දිනාගැනීමට සැලැස්සුව මැනව.
6 ඔබේ කෝපය පුබුදු කළ මැනව. 
ඔබේ උදහස වැගුරුව මැනව. 
විරුද්ධකාරයා විනාශ කළ මැනව. 
සතුරා නසා වැනසුව මැනව. 
11 සමිඳුනි, ඔබේ නාමය කියා අඬගැසූ සෙනඟට දයා වුව මැනව. 
ඔබේ කුලුඳුලා මෙන් ගත් ඉශ්රායෙල්වරුන්ට කරුණා කළ මැනව. 
12 ඔබේ ශුද්ධ නගරයට අනුකම්පා කළ මැනව. 
ඔබේ විවේක ස්ථානය වන ජෙරුසලමට අනුකම්පා කළ මැනව. 
13 සියොන් කන්ද ඔබේ ප්‍රශංසා ගීතයෙන් පිරෙව්ව මැනව. 
ඔබේ ශුද්ධස්ථානය ඔබගේ මහිමයෙන් සපුරාලුව මැනව. 
14 ඔබ විසින් පළමුවෙන් මවන ලද්දන් හට සාක්ෂි දුන මැනව. 
ඔබේ නාමයෙන් කියන ලද දිවැස් වැකි සම්පූර්ණ කළ මැනව. 
15 ඔබ කෙරෙහි බලාපොරොත්තු වන්නන් හට විපාක දුන මැනව. 
ඔබේ දිවැසිවරයන්ගේ සත්‍යවාදි බව ඔප්පු කරනු ලැබේ වා! 
16 සමිඳුනි, ඔබේ සෙනඟ පිට ආරොන්ගේ ආශීර්වාදය වැටෙන ලෙස ඔබේ මෙහෙකරුවන්ගේ යාච්ඤාව අසා වදාළ මැනව.
17 ඔබ සදාකාල දෙවි ස්වාමීන් වහන්සේ බව පොළොව පිට වාසය කරන සියල්ලෝ දැනගනිත් වා!




සුවිශේෂය/ මාක් 10:32-45


32 ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයෙහි යමින් සිටියහ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයින්ට පෙරටුව වැඩිය සේක. පසුපස්සේ ගිය සෙනඟ භීත වී සිටියහ. උන් වහන්සේ යළිත් දොළොස් දෙනා කැඳවා තමන් වහන්සේට සිදු වන්න යන දේ කියන්න පටන්ගෙන, 33 ''බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝ ය. 34 ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ''යි වදාළ සේක.                                    
35 සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, ''ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු''යි කී හ. 36 ''මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 37 ''ඔබගේ තේජශ්‍රීයෙහි දී, අපෙන් එක් කෙනෙකුට ඔබගේ දකුණු පස ද, එක් කෙනෙකුට වම් පස ද හිඳගන්නට වර දුන මැනවැ''යි ඔව්හු උන් වහන්සේට කී හ. 38 එහෙත් ජේසුස් වහන්සේ, ''ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම නොදන්නහු ය. මා බොන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බව්තීස්ම-ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකි දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක. 39 ''අපට හැකිය''යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, ''මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත. 40 එහෙත්, මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇද්ද, එය අයිතිවන්නේ ඔවුන්ට ය''යි වදාළ සේක. 41 එවිට අනික් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජොහන් සමඟ අතිශයින් කෝප වූ හ. 

42 ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළ සේක: ''විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නහු ය. 43 එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය. 44 ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය. 45 කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.''

Comments