පළමු කියවීම/ තෝබිත් 3:1-11,16-17
1 එවිට මම දුකින් තැවී, හඬමින්, සුසුම්ලමින් මේ ළතෝනි යැදුම කියන්ට ගත්තෙමි.
2 ''අහෝ සමිඳුනි! ඔබ සාධාරණ ය;
ඔබේ සියලු ක්‍රියා සාධාරණ ය.
ඔබේ සියලු මාවත් ප්‍රසාදයත් සත්‍යයත් වනු ඇත.
ලොවැ විනිසකරුවාණෝ ඔබ ය.
3 අහෝ සමිඳුනි!
එබැවින් මා සිහි කරනු මැනව.
මා දෙස බලනු මැනව.
මාගේ පව්වලට හෝ මාගේ අනවධාන වැරදිවලට හෝ මාගේ පියවරුන්ගේ පව්වලට හෝ දඬුවම් නොකළ මැනව.
4 අපි ඔබට විරුද්ධ ව පව් කෙළෙමු.
ඔබේ අණපණත් කඩ කෙළෙමු.
එබැවින් කොල්ලකෑමට ද, වහල්කමට හා මරණයට ද අප විසුරුවාදමා තිබෙන සියලු ජාතීන් අතර ඔවුන්ගේ ප්‍රලාපයට ද සිනහවට ද නින්දාවට ද ඔබ අප පාවාදුන් සේක.
5 මාගේ පියවරුන්ගේ ද මාගේ ද වැරදිවල හැටියට මට දඬුවම් කරන විට ඔබේ සියලු නියමයෝ සත්‍යය ය.
මන්ද, අපි ඔබේ ආඥා නොපිළිපැද්දෙමු.
අපි ඔබ ඉදිරියෙහි සත්‍යවාදී ව නොහැසුරුණෙමු.
6 එබැවින් දැන් ඔබ රිසි පරිදි මට කරනු මැනව.
මාගේ පණ මාගෙන් පහ කිරීමට කැමැති වුව මැනව.
පොළොවේ පසින් ගන්නා ලද මා යළි පොළොවේ පසට හැරෙන්නට මම කැමැති වන්නෙමි.
ජීවිතයට වඩා මට මරණය යෙහෙකි.
හේතුවක් නැති ව මම නින්දා කරනු ලැබීමි.
නිම්හිම් නැති ව මම දුකට පත් වී සිටිමි.
සමිඳුනි, මේ කරදරයෙන් මිදීමට ඔබ දෙන තීන්දුව මම බලා සිටිමි.
මාගේ සදාතනික නිවෙසට යාමට මට ඉඩ දෙනු මැනව.
අහෝ සමිඳුනි!
ඔබේ මුහුණ මාගෙන් ඉවත් කර නොගත මැනව.
දයා විරහිත විපත්තීන්ට මුහුණ දෙමින් ජීවත් වෙනවාට වඩා මියයාම යෙහෙකි.
මා ලත් තීන්දුවෙන් මම වෙහෙසට පත් වී සිටිමි.''
7 එම දවසේ ම එක්බතානා නම් ප්‍රදේශයෙහි, මේදියා නම් ස්ථානයෙහි විසූ රගුවෙල්ගේ දියණිය වූ සාරා ද, ඇගේ පියාගේ සේවිකාවක් කළ අපහාසයට සවන් දුන්නා ය. 8-9 ඈ හත් වරක් සරණපාවා දෙන ලද තැනැත්තියක් බව ඔබ දැනගත යුතු ය. එහෙත් ඈ සමඟ සැමියා හා බිරිය වශයෙන් එක්වීමට පෙර, ඒ මනාලයෝ හත් දෙනාම පිළිවෙළින් අස්මොදේයුස් නම් ඉතා නපුරු යක්ෂයකු විසින් මරාදමන ලදහ. ඇගේ මෙහෙකාරිය ඇයට කතා කොට, ''අපූරුයි! ඔබ ම ඔබේ මනාලයන් මරන්නෙහි ය. ඔබ විවාහ කර දෙනු ලැබූ අය හත් දෙනෙකි. එහෙත් තව ම ඔබට වාසනාව උදා නො වී ය. ඔබේ මනාලයන් මියගිය පලියට අපට දඬුවම් නොදෙන්න. ඔබත් ගොස් ඔවුන් සමඟ එකතු වන්න. ඔබට ලැබෙන දරුවෙකු දැකීමට අපට නොලැබේ වා!''යි කීවා ය.
10 එදින ඈ ඉතා දුක් වී, සුසුම් ලා එල්ලී මැරෙන්නට ඉටාගෙන තම පියාගේ කාමරයට ගියා ය. එහෙත් ඈ කල්පනා කරමින්, ''හොඳයි, මිනිසුන් මාගේ පියාට දොස් පවරන්නට පුළුවන. තවද, ඔවුන් කතා කොට, ඔබට හිටියේ ඔබ ප්‍රේම කළ එක ම දියණිය යි. දැන් ඇය ද ඉතා දුකින් එල්ලී මැරුණා ය'' කියා කියන්නට පුළුවන. ''මාගේ පියාගේ මහලු වියේ දී ඔහු පාතාල ලෝකයට යැවීමට ඔහුට දුක් දීම මට කළ නොහැක්කකි. එල්ලී මියයාම හොඳ දෙයක් නොවේ. තවදුරටත් අපහාස විඳිමින් ජීවත් නොවී මට මියයාම සලස්වන ලෙස සමිඳාණන් වහන්සේගෙන් අයැදිමි''යි සිතුවා ය. 11 මෙසේ සිතා, කවුළුව ළඟ දෑත් විහිදාගෙන මෙසේ යාච්ඤා කළා ය:
සුවිශේෂය /මාක් 12:18-27
18 පුනරුජ්ජීවනයක් නැතැ යි උගන්වන සද්දුසිවරුන්ගෙන් සමහරු උන් වහන්සේ වෙත අවුත් ප්‍රශ්න කරමින්, උන් වහන්සේගෙන් මෙසේ ඇසූ හ: 19 ''ගුරුදේවයෙනි, යමෙකුගේ සහෝදරයෙක් දරුවෙකු නොලැබ, සිය භාර්යාව ජීවත් ව සිටිය දී මියගියොත්, ඔහුගේ සහෝදරයා ඒ ස්ත්‍රිය පාවාගෙන සිය සහෝදරයාගේ නමට දරුවන් ඉපදවිය යුතු ය යි මෝසෙස් විසින් අපට අණ දී තිබේ. 20 වරක් සහෝදරයෝ සත් දෙනෙක් සිටියහ. පළමුවැන්නා භාර්යාවක පාවාගෙන දරුපල නැති ව මළේ ය. 21 දෙවැන්නාත් ඇය පාවාගෙන දරුපල නැති ව මළේ ය. තෙවැන්නාටත් එසේ ම විය. 22 සත්දෙන ම දරුපල නැති ව මළෝ ය. හැමට ම පසු ස්ත්‍රිය ද මළා ය. 23 සත් දෙනා ම ඇය භාර්යාව කොට පාවාගත් බැවින් පුනරුජ්ජීවනයේ දී, ඔවුන් මළවුන්ගෙන් නැඟිටින කල ඈ ඔවුන්ගෙන් කවරෙකුගේ භාර්යාව වන්නී ද?''
24 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: ''ඔබ මුළා වන්නේ ශුද්ධ ලියවිලි වත් දෙවියන් වහන්සේගේ බලපරාක්‍රමය වත් නොදන්නා නිසා නොවේ ද? 25 මා එසේ කියන්නේ මළවුන්ගෙන් උත්ථානවීමේ දී ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැති බැවිනි; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන් වෙති. 26 තවද මළවුන් නැඟිටුවනු ලැබීම ගැන, 'මම ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ය, ඊසාක්ගේ දෙවියන් වහන්සේ ය, ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ය'යි දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ බව ඔහුගේ පොතේ ගිනිගත් පඳුර ගැන සඳහන් වන පාඨයෙහි ඔබ කියවා නැද් ද? 27 උන් වහන්සේ මළවුන්ගේ දෙවියන් වහන්සේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේ ය. ඔබ බොහෝ සේ මුළා ව ගොස් ඇත.''
Comments
Post a Comment