ශු:ජුසේ මුනිදුන්ගේ මංගල්‍යය

ඔහුගේ පෙළපත සදහටම පවතින්නේය














පළමු කියවීම /2සාමු 7:4-6,12-14,16

4 තවද, එම රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ පණිවුඩය නාතාන් වෙත පැමිණියේ ය. 5 උන් වහන්සේ මෙසේ වදාළ සේක: ''නුඹ ගොස්, සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි මගේ මෙහෙකරු වන දාවිත්ට කියන්න: 6 'මාගේ වාසස්ථානය සඳහා මට මාලිගාවක් ගොඩනඟන්නට යන්නේ නුඹ ද? මම ඉශ්රායෙල් සෙනඟ මිසරයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා ගෘහයක වාසය නො‍කොට කූඩාරමක ද මණ්ඩපයක ද වාසය කෙළෙමි.
12 නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි. 13 ඔහු ම මාගේ නාමයට මාලිගාවක් ගොඩනඟන්නේ ය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනය ද සදහට ම ස්ථිර කරන්නෙමි. 14 මම ඔහුට පියෙක් වන්නෙමි; ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. ඔහු අයුතුකම් කළො‍ත් මම පියෙකු මෙන් ඔහුට ඉපලෙන් දඬුවම් කරන්නෙමි; මිනිසුන් පහර දෙන සේ ඔහුට පහර දෙන්නෙමි.
16 නුඹේ වංශය ද රාජශ්‍රීය ද මා ඉදිරියෙහි සදහට ම ස්ථිර කරනු ලබන්නේ ය. නුඹේ සිංහාසනය සදහට ම පිහිටුවනු ලබන්නේ ය.'' 

දෙවන කියවීම /රෝම 4:13,16-18,22

13 ආබ්‍රහම්ට හෝ ඔහුගේ දරු පෙළපතට හෝ ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව කිසි සේත් නීතිය පිළිපැදීම නිසා ඇති වූවක් නොවේ. එය ඇති වූයේ ඇදහිල්ල නිසා සිදු වන දමිටු බව හේතුකොටගෙන ය.16 මේ නිසා දේව පොරොන්දුව වරප්‍රසාදයේ ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මත රඳා පවතී. එසේ වන්නේ, ආබ්‍රහම්ගේ දරු පෙළපතට අයත් හැමට ම, එනම්, නීතිය අනුව ජීවත් වන අයට පමණක් නොව, අපගේ පියාණන් වන ආබ්‍රහම්ගේ ඇදහිල්ල අනුව ජීවත් වන අයටත්, ඒ පොරොන්දුව වලංගු වන බව සහතික කරන පිණිස ය. 17 ''මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කොට පත් කෙළෙමි''යි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත්තේ මේ නිසා ය. ඒ පොරොන්දුව ආබ්‍රහම් ලැබුවේ තමා අදහන, මළවුන් හට ජීවිතය දෙන, නැති දේ ඇති කරන, දෙවියන් වහන්සේගෙන් ය. 18 බලාපොරොත්තු රහිත තත්ත්වයක දී වුව ද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කෙළේ ය. ඔහු බොහෝ ජාතීන්ගේ පියා වූයේ, ''එබඳු මහා පෙළපතක් ඔබට ඇති වන්නේ ය'' යන කීම පරිදි ය. 22 එබැවින් දෙවියන් වහන්සේ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු දමිටු බව පිළිගත් සේක.

සුවිශේෂය /මතෙව් 1:16,18-21,24

 16 ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.
18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. 
19 ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙප්, සත් පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින්, රහසින් ඇය අත්හැරදමන්න සිතාගත්තේ ය. 20 එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, ''දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. 21 ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය''යි කී ය. 
24 ජෝසෙප් නින්දෙන් අවදි වූ විට සමිඳාණන් වහන්සේගේ දූතයා ඔහුට අණ කළ ලෙස, සිය බිරිඳ කැන්දාගෙන ගියේ ය. 25 එහෙත්, ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු ඇය සමඟ එක් නො වී ය. ඔහු උන් වහන්සේට ජේසුස් යන නාමය තැබී ය.

Comments