පළමු කියවීම /ක්‍රියා 19:1-8

1 තවද අපොල්ලොස් කොරින්තියෙහි සිටිය දී, පාවුලු ඉහළ පළාත් මැදින් ගමන් කොට, එපීසයට පැමිණියේ ය. එහි දී ඔහුට සමහර ශ්‍රාවකයෝ හමු වූ හ. 2 පාවුලු ඔවුන් අමතා: ''ඔබ අදහා ගත් කල ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබුවහු දැ''යි ඔවුන්ගෙන් ඇසී ය. ඔව්හු, ''නැත, ශුද්ධාත්මයාණන් වහන්සේ ඇති බවක් වත් නොඇසීමු''යි කී හ. 3 ''එසේ වී නම්, ඔබ කුමන බව්තීස්ම-ස්නාපනයක් ලැබුවහු දැ''යි ඔහු ඇසී ය. ''ජොහන්ගේ බව්තීස්ම-ස්නාපනය''යි ඔව්හු කී හ. 4 පාවුලු කතා කොට, ''ජොහන් පසුතැවී සිත් හරවා ගැනීමේ බව්තීස්ම-ස්නාපනයෙන් බව්තීස්ම-ස්නාපනය කොට සෙනඟට කතා කරමින්, තමන්ට පසු ව එන තැනැන් වහන්සේ කෙරෙහි, එනම් ජේසුස් වහන්සේ කෙරෙහි අදහාගන්නා ලෙස සෙනඟට කී ය''යි පැවසී ය. 5 ඔව්හු ඒ අසා ස්වාමීන් වන ජේසුස් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. 6 පාවුලු ඔවුන් පිට අත් තැබූ කල ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන් කෙරෙහි පැමිණි සේක. ඔව්හු අන්‍ය භාෂාවලින් කතා කරමින් දිවැස් වැකි පැවසූ හ. 7 ඒ මනුෂ්‍යයෝ දොළොස් දෙනෙක් පමණ වූ හ. 
8 පාවුලු ධර්මශාලාවට ඇතුළු වී තුන් මසක් අතරතුරේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීත ලෙස තර්ක කරමින් ද සිත් දිනාගැනීමට උත්සාහ කරමින් ද සාකච්ඡා කෙළේ ය.

Comments