අද සුපුවත -අගෝස්තු 18,සිකුරාදා


පළමු කියවීම /ජෝෂුවා 24:1-13

1 ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය. 2 ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: ''ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: 'යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. 3 මම ඒ ගංගාව එතෙරින් නුඹලාගේ පිය වූ ආබ්‍රහම් කැඳවාගෙන කානාන් දේශය මුළුල්ලෙහි ගෙන ගොස්, ඔහුගේ වංශය වැඩි කෙළෙමි. මම ඔහුට ඊසාක් දුනිමි. 4 ඊසාක්ට ජාකොබ් ද ඒසව් ද දුනිමි. ඒසව්ට සේයිර් කඳුකරය උරුමයක් කොට දුනිමි. ජාකොබ් ද ඔහුගේ පුත්‍රයෝ ද මිසරයට ගියෝ ය. 5 මම මෝසෙස් සහ ආරොන් යවමින් මිසර දේශය පිට වසංගත පැමිණෙව්වෙමි. නුඹලා ඒ ගැන හොඳාකාර ව දන්නහු ය. ඉන්පසු නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවෙමි. 6 මා නුඹලාගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට නුඹලා රතු මුහුද දක්වා ආවහු ය. මිසරවරු රථ සහ අසරුවන් ඇති ව නුඹලාගේ පියවරුන් ලුහුබැඳ රතු මුහුද දක්වා ගියහ. 7 ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය. 

8 'තවද, මම නුඹලා ජොර්දානින් එතෙර වාසය කළ අමෝරිවරුන්ගේ දේශයට ගෙනාවෙමි. ඔව්හු නුඹලාට විරුද්ධ ව යුද්ධ කළහ. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. නුඹලා ඔවුන්ගේ දේශය හිමි කර ගත්තහු ය. මම ඔවුන් නුඹලා ඉදිරියෙන් විනාශ කරදැමීමි. 9 එකල ශිප්පො‍්ර්ගේ පුත් මෝවබ්හි රජ වූ බාලාක් ඉදිරිපත් වී ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කර, නුඹලාට සාප කරන පිණිස බෙයෝර්ගේ පුත් බාලාම්ට අඬගසා යැව්වේ ය. 10 එහෙත්, මා බාලාම්ට සවන් දීමට නොකැමැති වූ බැවින් ඔහු නුඹලාට ආශීර්වාද කෙළේ ය. මෙසේ මම ඔවුන්ගේ අතින් නුඹලා ගැළවීමි. 11 නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි. 12 මම නුඹලාට පෙරටුව දෙබරුන් යැවීමි. ඒ දෙබරු අමෝරිවරුන්ගේ රජුන් දෙදෙනා නුඹලා ඉදිරියෙන් පලවාදැමූ හ. එසේ වුණේ, නුඹලාගේ කඩුවෙන් වත්, දුන්නෙන් වත් නොවේ. 13 මෙසේ නුඹලා වෙහෙස නොවී ලබාගත් දේශයක් ද නුඹලා ම ගොඩ නොනැඟුව නගර ද නුඹලාට දුනිමි; නුඹලා එහි වාසය කරන්නහු ය. නුඹලා නොවැවූ මිදි වතුවලින් ද ඔලීව වතුවලින් ද පලදාව කන්නහු ය.' 

පිළිතුරු ගීය;සමිදුන්ගේ තිර පෙම සදහටම පවතින්නේය

1 සමිඳුන් හට තුති පුදන්න. 
එතුමාණෝ යහපත් ය. 
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
2 දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. 
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 
3 රාජාතිරජිඳුන්ට තුති පුදන්න. 
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 


16 සිය සෙනඟ පාළුකරය මැදින් ගෙන ගිය තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 
17 බලවත් රජුන්ට පහර දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 
18 කීර්තිමත් රජුන් නැසූ තැනැන් වහන්සේට තුති පුදන්න. 
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 

21 ඔවුන්ගේ දේශය උරුමකොට සිය සෙනඟට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 
22 සිය මෙහෙකරු ඉශ්රායෙල්ට එය උරුම කොට දුන් තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 


24 අපේ සතුරන්ගෙන් අප මිදූ තැනැන් වහන්සේට තුති පුදන්න.
එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය. 


සුවිශේෂය /මතෙව් 19:3-12

3 පරිසිවරු උන් වහන්සේ වෙතට පැමිණ උන් වහන්සේ වචනයකින් අල්ලාගන්නා පිණිස, ''යමෙකු විසින් කුමන කරුණක් නිසා වත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ''යි උන් වහන්සේගෙන් ඇසූ හ. 4 උන් වහන්සේ උත්තර දෙමින්, ''පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද? 5 ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. 6 මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා''යි වදාළ සේක. 7 ඔව්හු කතා කොට, ''එසේ වී නම් දික්කසාද සහතිකයක් දී ඇය අත් හරින්න මො‍්සෙස් අණ කෙළේ මන්දැ''යි උන් වහන්සේගෙන් ඇසූ හ. 
8 උන් වහන්සේ පිළිතුරු දෙමින්, ''මො‍්සෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසා ය. එහෙත්, පටන් ගැන්මේ සිට එසේ නො වී ය''යි ඔවුන්ට වදාළ සේක. 9 ''තවදුරටත් මම ඔබට මෙසේ කියමි: වේශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක සරණ පාවා ගන්න කවරෙක් නමුත් කාමමිථ්‍යාචාරය කරන්නේ ය; දික්කසාද කරනු ලැබූ ඒ ස්ත්‍රිය විවාහ කරගන්නා ද කාමමිථ්‍යාචාරය කරන්නේ ය.'' 
10 ශ්‍රාවකයෝ උන් වහන්සේට කතා කොට, ''ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය''යි කීහ. 11 එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ''දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය. 12 මන්ද, උත්පත්තියෙන් ම විවාහ විය නොහැකි අය සිටිති; මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අය ද සිටිති; ස්වර්ග රාජ්‍යය අරභයා සිය කැමැත්තෙන් ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන්න හැකි තැනැත්තේ පිළිගනී වා''යි වදාළ සේක.

Comments