අද සුපුවත -අගෝස්තු 19,සෙනසුරාදා - ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න


පළමු කියවීම /ජෝෂුවා 24:14-29

14 ''එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. 15 සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.'' 

16 සෙනඟ පිළිතුරු දෙමින්, ''අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. 17 මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. 18 සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය''යි කීවෝ ය. 
19 ජෝෂුවා සෙනඟට කතා කොට, ''සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක. 20 ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ''යි කීවේ ය. 
21 සෙනඟ ද පිළිතුරු දෙමින්, ''නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය''යි ජෝෂුවාට කීවෝ ය. 
22 ජෝෂුවා කතා කරමින්, ''සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තො‍්රාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය''යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, ''අපි සාක්ෂිකාරයෝ වමු''යි කීවෝ ය. 
23 ''එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ''යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය. 24 ''අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු''යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නො‍් ය. 
25 මෙසේ ජෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හි දී සෙනඟ සමඟ ගිවිසුමක් කර, ඔවුන්ට පණතක් ද නියෝගයක් ද නියම කෙළේ ය. 
26 ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා, 27 මුළු සෙනඟ අමතා, ''මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය''යි කීවේ ය. 28 ඉන්පසු ජෝෂුවා මුළු සෙනඟ තම තමන්ගේ උරුම ප්‍රදේශවලට යැව්වේ ය.29 මේ සිද්ධීන්ගෙන් පසු සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය.


පිළිතුරු ගීය:අපේ උරුමය සමිදාණෝය

1 දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. 
එබැවින් මා රැකගත මැනව. 
2 මම මෙසේ කීමි: 
''සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය.
ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.'' 

5 සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. 

ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. 

7 මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි.

රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය. 
8 හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. 
මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි. 

11 ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. 

ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. 
ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.

සුවිශේෂය /මතෙව් 19:13-15

13 එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ. 14 එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, ''ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය''යි වදාළ සේක. 15 උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.

Comments