අද සුපුවත -සැප් 01 වනදා Ada Supuwatha



පළමු කියවීම :1 තෙසලෝනික 4:1-8

1 සහෝදරවරුනි, දෙවියන් වහන්සේ ප්‍රසන්න කිරීමට කෙසේ හැසිරිය යුතු දැ යි ඔබ අපගෙන් ඉගෙනගත්තහු ය. ඔබ එසේ හැසිරෙන්නහු ය. එහෙත් ඔබ වැඩි වැඩියෙන් එසේ කරන ලෙස, අපි සහකාර කිතුනුවන් වශයෙන් ඔබගෙන් ඉල්ලා අවවාද කරමු. 2 ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට කුමන අවවාද අනුශාසනා දුනිමු දැ යි ඔබ දන්නහු ය. 3 දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් ඔබ ශුද්ධ ව සිටීම ය; ඔබ කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකී සිටිය යුතු ය. 4 ඔබ එකිනෙකා තම තමාගේ ශරීරය දමනය කරගෙන එය ශුද්ධ ව ද, ගෞරවයෙන් යුක්ත ව ද, තබාගැනීමට දැනගත යුතු ය. 5 දෙවියන් වහන්සේ නොදන්නා විජාතීන් මෙන්, ඔබ කාම තෘෂ්ණාවෙහි ගැලී නොසිටිය යුතු ය. 6 මේ කාරණයේ දී කිසිවෙකු තම සහෝදරයා රවටා, වාසියක් නොගත යුතු ය. මන්ද, අප ඔබට කලින් කියා තදින් අවවාද කළ ලෙස, මෙබඳු අයට සමිඳාණන් වහන්සේ විපාක දෙන සේක. 7 දෙවියන් වහන්සේ අප කැඳෙව්වේ අපවිත්‍රකමට නොව, පවිත්‍රකමට ය. 8 එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය. 

පිළිතුරු ගීය :සමිදුන් තුල ප්‍රීති ප්‍රමෝද වෙමු 


1 සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! 

දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා! 
2 වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.

5 කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය;

මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය. 
6 දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; 
සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය. 

10 සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; 

ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; 
දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක. 
11 දැහැමියන් මත එළිය බබළයි; 
යහපත් අය මත සතුට දිළිසෙයි. 
12 සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!

සුවිශේෂය මතෙව් 25:1-13


1 ''ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකි ය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමඟට යුවතියෝ දස දෙනෙක් ගියෝ ය. 2 ඔවුන් අතරෙන් පස් දෙනෙක් නුවණ නැති අය ය; පස් දෙනෙක් නුවණ ඇති අය ය. 3 නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ තෙල් ගෙන ගියේ නැත. 4 එහෙත්, නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමඟ බඳුන්හි තෙල් ගෙන ගියහ. 5 මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝ ම නිදිබර වී නිදාගත්හ. 

6 ''මධ්‍යම රාත්‍රියේ 'අන්න, මනාලයා! ඔහු පෙරමඟට යන්නැ'යි හඬක් විය. 7 එවිට ඒ සියලු යුවතියෝ නැඟිට සිය පහන්වල තිර සකස් කළහ. 8 එකල නුවණ නැති අය, 'අපේ පහන් නිවීගන යයි, ඔබගේ තෙල්වලින් ටිකක් අපට දෙන්නැ'යි නුවණ ඇති අයට කී හ. 9 එහෙත්, නුවණ ඇති අය, 'එසේ කළ නොහැක; අප දෙගොල්ලන්ට ම සෑහෙන තරම් තෙල් මෙහි නැත; එබැවින් වෙළෙඳුන් වෙත ගොස් ඔබ ම මිල දී තෙල් ගන්නැ'යි පිළිතුරු දුන්හ. 10 ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී. 
11 ''පසුව අනිත් යුවතියෝ අවුත්, 'ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ'යි කී හ. 12 එහෙත් මනාලයා 'මම ඔබ කිසි සේත් නොහඳුනමි'යි පිළිතුරු දුන්නේ ය. 13 එබැවින් දවස වත්, පැය වත් ඔබ නොදන්න නිසා අවදි ව ඉන්න.''

Comments