අද සුපුවත -සැප් 05-සියලුම කියවීම් Ada Supuwatha


පළමු කියවීම /1 තෙසලෝනික  5:1-6,9-11

1 සහෝදරවරුනි, මේවා සිදුවෙන කාලවේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. 2 මන්ද, රාත්‍රියෙහි පැමිණෙන සොරෙකු මෙන් සමිඳාණන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ ම හොඳ හැටි දන්නහු ය. 3 'සාමය ඇත; අනතුරක් නැතැ'යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත. 

4 එහෙත්, සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා, ඒ දවස සොරෙකු මෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. 5 ඔබ සැම, ආලෝකයේ දරුවෝ ද, දිවා කාලයේ දරුවෝ ද වන්නහු ය; අපි රාත්‍රි කාලයේ වත්, අන්ධකාරයේ වත් දරුවෝ නොවන්නෙමු. 6 ඒ නිසා අපි, අන් අය මෙන් නිඳා නොසිට අවදි ව, සිහිකල්පනාව ඇතිව සිටිමු. 7 නිඳන්නන් නිඳන්නේ රාත්‍රියේ දී ය; මත් පැන් බොන්නන් මත් වන්නේ රාත්‍රියේ දී ය.
9 දෙවියන් වහන්සේ අපට නියම කෙළේ දේව උදහස නොව, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, ගැළවීම ලබාගැනීම ය. 10 අප අවදි ව සිටියත්, නිඳා සිටියත්, තමන් වහන්සේ සමඟ එක් ව ජීවත් වන පිණිස ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා මළ සේක. 11 එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.

පිළිතුරු ගීය :සමිදුන්ගේ යහපත් කම ජීවතුන් අතර මම අත් දකිමි 


1 හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; 

මම කිසිවෙකුට බිය නොවෙමි. 
හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; 
මට භීතියක් නැත. 

4 හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; 

එය තරයේ සොයන්නෙමි. 
එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.

13 ''ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය''යි මම විශ්වාස කරමි. 

14 සමිඳුන් කෙරේ බලා සිටින්න; 
ශක්තිමත් වන්න; 
ධෛර්යවත් වන්න; 
සමිඳුන් කෙරේ බලා සිටින්න.

සුවිශේෂය /ලූක් 4:31-37


31 උන් වහන්සේ ගලීලයේ නුවරක් වන කපර්ණවුමට පැමිණ, සබත් දිනයේ දී අනුශාසනා කරමින් සිටි සේක. 32 උන් වහන්සේ බලධාරි කෙනෙකුන් මෙ‍න් කතා කළ බැවින් ඒ අනුශාසනා ගැන සෙනඟ විස්මිත වූ හ. 33 අශුද්ධාත්මයක් ආවේශ වූ මිනිසෙක් ධර්මශාලාවෙහි සිටියේ ය. ඔහු මහ හඬින් මොරගසා, 34 ''අහෝ! නාසරෙත්හි ජේසුස් තුමෙ‍නි ඔබත් අපත් අතර මොන ගනුදෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය''යි කී ය. 35 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, ''කට පියාගෙන මොහුගෙන් දුරු වෙව''යි වදාළ සේක. එවිට දුෂ්ටාත්මය සමූහයා ඉදිරියෙහි ඔහු බිම හෙළා, ඔහුට තුවාළ නොකොට ඔහුගෙන් දුරු වී ය. 36 සියල්ලෝ ම විස්මිත ව ''මේ මොන ධර්මයක් ද? මෙ‍තුමා බලධාරී ව ද මහානුභාව ඇති ව ද අශුද්ධාත්මයන්ට අණ දෙන සේක; ඔව්හු පලා යති''යි තම තමන් අතර කතා කරගත් හ. 37 උන් වහන්සේ පිළිබඳ මෙ‍පුවත අවට පෙදෙස පුරා පැතිරිණි.



Comments