Ada Supuwatha අද සුපුවත -සැප් 16 -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

සමිදුන්ගේ නාමය සදා ප්‍රශංසා වේවා 


පළමු කියවීම/1 තිමෝති 1:15-17

15 පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය. 16 එසේ වූ නමුත් මට දයාව ලැබුණේ මේ නිසා ම ය. එසේ කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ඉවසීම අසීමිත බව උන් වහන්සේ පැහැදිලි කළ සේක. සදාතන ජීවනය ලබාගැනීම පිණිස උන් වහන්සේ කෙරෙහි අදහන සියල්ලන්ට ම මා ආදර්ශයක් වෙන්නට උන් වහන්සේ සැලැස් වූ සේක. 17 අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්. 

පිළිතුරු ගීය :සමිදුන්ගේ නාමය සදා ප්‍රශංසා වේවා 

1 සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
2
මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා!
3
සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය.
4
සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක.
එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
5
අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත;
එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.
6
එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.
7
එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.




සුවිශේෂය /ලූක් 6:43-49

43 ''නරක පල දෙන හොඳ ගසක් වත්, හොඳ පල දෙන නරක ගසක් වත් නැත. 44 එක එක ගස එහි පලවලින් හඳුනාගනු ලැබේ. මිනිස්සු කටු ගස්වලින් අත්තික්කා පල නෙළා නොගනිති; ගොකටු පඳුරකින් මිදි පල කඩා නොගනිති. 45 යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙයින් යහපත් දෙය ද, අයහපත් මිනිසා අයහපත් දෙයින් අයහපත් දෙය ද උපදවයි. මන්ද, සිතෙන් උතුරා යන දෙය කටින් පිට වේ.''
46 ''මා වදාරන දෙය නොකර, මට 'ස්වාමීනි, ස්වාමීනි'යි කියන්නේ මන් ද? 47 මා වෙතට විත් මාගේ අනුශාසනා අසා ඒවා පිළිපදින අය කවරෙකුට සමාන දැ යි ඔබට පෙන්වමි. 48 ඔහු ගැඹුරට පොළොව කැණ, පර්වතය මත අත්තිවාරම දමා, ගෙයක් සෑදූ මිනිසෙකුට සමාන ය. ජල ගැල්මක් පැමිණ, සැඩ පහර ඒ ගෙට ගැසූ නමුත් එය මනා ලෙස ඉදි කොට තිබුණු බැවින් සොලවන්න නොහැකි විය. 49 එහෙත් වචනය අසා, නොපිළිපදින තැනැත්තා අත්තිවාරමක් නැති බිමෙ‍හි ගෙයක් තැනූ මිනිසෙකුට සමාන ය. සැඩ පහර ඒ ගෙට ගැසී ය, එවේලේ ම එය ඇද වැටුණේ ය. එහි විනාශය ද භයංකර විය.''

Comments

  1. Amen! Thanks and may God bless you all! Praise the lord for ever!🙏

    ReplyDelete

Post a Comment