Ada Supuwatha අද සුපුවත-සැප් 27 බදාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /එස්රා 9:5-9

5 ''සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට, 6 'මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ. 7 අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි. 8 එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය. 9 මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක. 

පිළිතුරු ගීය : සදා ජීවනයේ දෙවි සමිදානන්ට පැසසුම් වේවා 

2 උන් වහන්සේ දඬුවම් දෙන සේක; 
ඉන්පසු දයා පාන සේක. එතුමාණෝ පාතාල ලොවේ පතුලට මිනිසුන් යවන සේක; 
මහා විනාශයෙන් ඔවුන් ගළවාගන්න සේක. 
එතුමන්ගේ බලයෙන් බේරීමට කිසිවෙකුට බැරි ය. 
3 එම්බා ඉශ්රායෙල් ජනයෙනි! 
ජාතීන් අබිමුව එතුමන්ට පැසසුම් කරන්න. 
එතුමාණන් ඔබ ජාතීන් අතර විසුරුවාදැමුව ද 
4 එහි දී පවා එතුමාණෝ සිය මහන්තත්ත්වය ඔබට පෙන් වූ සේක.
සියල් ජීවතුන් අබිමුව උන් වහන්සේ උසස් කරන්න. 
එතුමාණෝ අපේ සමිඳාණෝ ය; 
එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය; 
එතුමාණෝ අපේ පියාණෝ ය. 
එතුමාණෝ සදහට ම දෙවියන් වහන්සේ ය. 


6 ඔබේ මුළු සිතින් හා මුළු හදින් එතුමන් වෙත අවංක ව හැසිරෙමින් ඔබ එතුමන් වෙත හැරී එන්නහු නම්, එතුමාණෝ ද ඔබ වෙත හැරී එන සේක; 
තවදුරට මුහුණ සඟවා නොගන්න සේක. 
කොපමණ හොඳින් ඔබට එතුමාණෝ සත්කාර කළ සේක් ද යන්න ගැන කල්පනා කරන්න.
හඬ නඟා එතුමන්ට තුති දෙන්න. 
යුක්තියේ සමිඳුන් පසසන්න. 
සදාතන රජතුමාණන් උසස් කරන්න. 
7 මම විදේශයක සිට එතුමන් හට ප්‍රශංසා කරමි. 
පව් කළ ජාතියකට එතුමන්ගේ බලය සහ මහන්තත්ත්වය දන්වමි. 
8 පවිටුනි, එතුමන් වෙත හැරී එන්න. 
එතුමන් අබිමුව ඔබේ හැසිරීම දැහැමි වේ වා! 
දැහැමි වන විට එතුමාණන් ඔබට කරුණාව පානු ඇත. 
ඔබට අනුකම්පාව දක්වනු ඇත. 


සුවිශේෂය /ලූක් 9:1-6


1 එකල උන් වහන්සේ ශ්‍රාවකයන් දොළොස් දෙනා කැඳවා, සියලු දුෂ්ටාත්මයන් කෙරෙහි බලය හා ආධිපත්‍යය ද රෝග සුව කිරීමේ වරය ද පවරා දී 2 දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන පිණිසත්, රෝගීන් සුව කරන පිණිසත් ඔවුන් යැවූ සේක. 3 තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''චාරිකාව සඳහා කිසිවක් නොගන්න; සැරයටියක් වත්, මල්ලක් වත්, රොටි වත්, මිලමුදල් වත්, කමිස දෙකක් වත් නොගන්න. 4 ඔබ යම් කිසි නිවෙසකට පිවිසි කල, එතැනින් පිටත් ව යන තුරු එහි ම නැවතී සිටින්න. 5 ඔබ නොපිළිගන්නා යම් පමණ දෙනෙක් ඇද්ද, ඒ නුවරින් නික්ම යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස, ඔබේ පාද යට තිබෙන ධූලි ගසා දමන්නැ''යි වදාළ සේක. 6 ඔව්හු පිටත් ව රට පුරා සුබ අස්න දේශනා කරමින් ද රෝග සුව කරමින් ද ගමින් ගමට ගියහ.

Comments