Ada Supuwatha අද සුපුවත-සැප් 30 සෙනසුරාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /සෙකරියා 2:1-5,10-11

1 මා හිස ඔසවා බැලූ විට සිය අතේ මනින ලණුවක් ඇති මිනිසෙක් මට දර්ශනය විය. 2 ''ඔබ කොහේ යනවා දැ''යි මම ඔහුගෙන් ඇසීමි. ''ජෙරුසලම මැන, එය කොපමණ දිග ද කියාත්, කොපමණ පළල ද කියාත් බලන පිණිස මම යමි''යි ඔහු පිළිතුරු දුන්නේ ය. 3 එවිට මා සමඟ කතා කළ දූතයා පිටත් ව යනවාත්, වෙන දූතයෙකු ඔහුගේ පෙරමඟට එනවාත් මම දිටිමි. 4 ඔහු පළමු දූතයාට මෙසේ කී ය: ''ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය. 5 'මම ඒ වටා පවුරක් වෙමි. ඒ තුළ තේජාලංකාරයෙන් වැඩ සිටින්නෙමි'යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.''

10 ''සියොන් පුරඟන, ප්‍රීතියෙන් ගී ගයන්න. මම නුඹලා සමඟ වාසය කරන පිණිස එන්නෙමි යි කියා සමිඳාණන් වහන්සේ වන මම කියමි.'' 11 ඒ කාලයේ දී බොහෝ ජාතීහු සමිඳාණන් වහන්සේට එක් වී උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වැඩවසන සේක. එවිට උන් වහන්සේ ඔබ වෙත මා එවූ බව ඔබ දැනගන්නහු ය.



පිළිතුරු ගීය :සමිදාණෝ අප රැකගන්නා සේක


10 මාගේ ජීවිතය දුකින් ගත වෙයි; 
මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; 
මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; 
මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි. 

11 මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි;
මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි; 
වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය. 

12 මා මතකයෙන් ඉවත ගිය, මියගිය කෙනෙකු මෙන් අමතක වී ඇත; 
බිඳුණු බඳුනක් මෙන් ඉවත දා ඇත. 
13 බොහෝ දෙනෙකුගේ කෙලෙසුම් බස් මට ඇසේ; 
මා අවට භීතිය ඇත. 
මිනිස්සු මට විරුද්ධ ව කුමන්ත්‍රණය කොට මාගේ දිවි නසාලීමට උපා යොදති.

සුවිශේෂය / ලූක් 9:43-45

43 ඔවුන් සියල්ලෝ ම දෙවියන් වහන්සේගේ මහානුභාව ගැන විස්මිත වූ හ.උන් වහන්සේ සිදු කළ සියල්ල ගැන හැම දෙනා ම පුදුම ව සිටිය දී, උන් වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට, 44 ''මා කියන දේ සාවධාන ව සිතට ගන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබන සේකැ''යි වදාළ සේක. 45 එහෙත් ඔවුන්ට ඒ කීම අවබෝධ නො වී ය. එය ඔවුන්ට නොවැටහෙන ලෙසින් සැඟවී තිබිණි. ඔව්හු ඒ කීම ගැන උන් වහන්සේගෙන් ඇසීමටත් බිය වූ හ.


Comments