Ada Supuwatha අද සුපුවත-ඔක් 02,සඳුදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

රැකවල් දේව දුතයන්ගේ මංගල්‍යය 


පළමු කියවීම / නික්මයාම 23:20-23

20 ''බලන්න, මාර්ගයේ දී නුඹලා ආරක්ෂා කිරීමටත්, මා සූදානම් කළ ස්ථානයට නුඹලා ගෙන ඊමටත් නුඹලාට පෙරටුවෙන් මම දූතයෙකු යවන්නෙමි. 21 ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය. 22 එහෙත්, නුඹලා ඔහුගේ හඬට කීකරු වී මා කියන සියල්ල කරන්නහු නම් මම නුඹලාගේ සතුරන්ට සතුරෙක් ද නුඹේ විරුද්ධවාදීන්ට විරුද්ධවාදියෙක් ද වන්නෙමි. 23 මාගේ දූතයා නුඹලාට පෙරටුව ගොස් අමෝරිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, කානානිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් වෙතට නුඹලා පමුණුවන්නේ ය. මම ද ඔවුන් වනසාලමි.

පිළිතුරු ගීය :සමිදාණෝ අප රක්නා ලෙස තම දුතයන්ට අණ කරන සේක 

1 පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය. 
2 ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: 
''එතුමාණෝ මාගේ රැකවරණය ය; 
මාගේ බලකොටුව ය; 
මාගේ දෙවිඳාණෝ ය. 
මම එතුමන් කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.'' 
3 එතුමාණෝ, කපටින්ගේ මලපත්වලින් ද බියකරු ලෙඩරෝගවලින් ද අප රැකගන්න සේක. 
4 සිය පියාපත්වලින් ඔබ ආවරණය කරන සේක; 
ඒවා ඔබේ රැකවරණ වන්නේ ය. 
එතුමන්ගේ විශ්වාසවන්තකම ඔබට රැකවරණය ද පලිහ ද වන්නේ ය.
5 රෑ කාලයේ ඇති වන බියට වත්, දවාලේ ඊ පහරින් වන උවදුරට වත් ඔබ බිය නොවන්නෙහි ය.
6 අඳුරේ සැරිසරන වසංගතයට වත්, මද්දහනේ වනසාලන පීඩාවට වත්, ඔබ බිය නොවන්නෙහි ය. 


10 එවිට ඔබට කිසි උවදුරක් නොවන්නේ ය; 
ඔබේ නිවෙසට කිසියම් වසංගතයක් ළං නොවන්නේ ය. 
11 ඔබ ගන්න සෑම පියවරක දී ඔබ රක්නා පිණිස, එතුමාණෝ සිය දූතයන්ට අණ දෙන සේක.


සුවිශේෂය /මතෙව් 18:1-5,10



1 එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ''ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ''යි ඇසූහ. 2 එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: 3 ''සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය. 5 තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.''
10 ''මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, 'ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති'යි මම ඔබට කියමි.

Comments