Ada Supuwatha අද සුපුවත-ඔක් 03 ,අඟහරුවාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

''සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.
ශු:තෙරේසා කන්‍යාවගේ මංගල්‍යය ( ධර්මදුත රටවල )


පළමු කියවීම /යෙසායා 66:10-14

10 ජෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වන්න.
11 මෙසේ නුඹලා ඇගේ සැනසිලි ගෙන දෙන පියයුරු උරා, තෘප්තියට පැමිණෙන්නහු ය. 
ඇගේ බහුල ව ඇති කිරිවලින් ප්‍රීති වන්නහු ය. 
ඇගේ මහිමය පූර්ණතාවෙන් නොමඳ සොම්නසින් පානය කරන්න.
12 සමිඳාණෝ මෙසේ වදාරන සේක: 
''මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි.
නුඹලා එයින් උරා බොන්නහු ය. 
මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය. 
ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය. 
13 මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි.
නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය. 
14 මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. 
එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. 
එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්,
මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.'' 


පිළිතුරු ගීය :මාගේ දෙවියනි ,මා සාමයෙහි රැක ගත මැනව 

1 සමිඳුනි, මාගේ සිත තුළ අහංකාරයක් නැත. 
උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. 
වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
2 ඒ වෙනුවට මම ලද දෙයින් නිහතමානී ව සැනසී සිටිමි. 
මවු තුරුල්ලේ සංසුන් ව සිටින ළදරුවෙකු සේ මා තුළ මාගේ සිත සංසුන් වී ඇත. 
3 එම්බා ඉශ්රායෙල්වරුනි! 
මෙතැන් පටන් සදහට ම සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.


සුවිශේෂය /මතෙව් 18:1-4

1 එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, ''ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ''යි ඇසූහ. 2 එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක: 3 ''සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.

Comments