Ada Supuwatha අද සුපුවත-ඔක් 06 ,සිකුරාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමුවන කියවීම /බාරුක් 1:15-22

15 ඔබ මෙසේ කිව යුතු ය: ''අවංකභාවය අපේ දෙවි ස්වාමීන් වහන්සේට හිමි ය. අද දින ජුදාහී සෙනඟ සහ ජෙරුසලම්හි පුරවැසියන් වන අපි එනම් 16 අපේ රජවරු ද රජ කුමරුවෝ ද, අපේ පූජකවරු ද අපේ මුතුන්මිත්තන් මෙන් අපේ දිවැසිවරු ද, 17 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කළ බැවිනුත්, 18 අකීකරු වූ බැවිනුත්, සමිඳාණන් වහන්සේ අප උදෙසා පිළියෙළ කළ, අපට අනුගමනය කිරීමට කී, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට අප සවන් නුදුන් බැවිනුත් අද දින ලජ්ජාවට පත් වී සිටිමු. 19 සමිඳාණන් වහන්සේ අපේ මුතුන්මිත්තන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ පටන් අද දක්වා අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේට අකීකරු වූයෙමු. උන් වහන්සේගේ හඬට සවන් දීම ප්‍රතික්ෂේප කොට අපි උන් වහන්සේට පක්ෂපාත නොවී සිටියෙමු. 20 එබැවින් අප අත්දකින දුර්භාග්‍යය ඇති වී ඇත්තේ කිරෙන් සහ මීපැණියෙන් ඉතිරී යන දේශයක් දෙනු පිණිස සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා දවසේ දී, උන් වහන්සේගේ සේවක මෝසෙස් ලවා උන් වහන්සේ දුන් දණ්ඩනයේ සාපය අප පිටට පැමිණ ඇති බැවිනි. 21 උන් වහන්සේ අප වෙත එවූ ඒ දිවැසිවරයන්ගේ සියලු පණිවුඩ නොසලකා, අපි අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට සවන් නොදී සිටියෙමු. 22 එහෙත්, අපි සියල්ලෝ ම අපේ නපුරු සිත්වල හටගත් චේතනා ක්‍රියාත්මක කරමින් බොරු දෙවි දේවතාවන් හට වැඳුම්පිදුම් කරමින් අපේ දෙවි ස්වාමීන් වහන්සේට අප්‍රසන්න වන දේ කෙළෙමු.

පිළිතුරු ගීය :දෙවිඳුනි ,ඔබගේ මහිමාන්විත නාමය නිසා අප මුදා ගත මැනව

1 අහෝ දෙවිඳුනි, 
මිසදිටුවෝ ඔබේ උරුමය ආක්‍රමණය කළෝ ය.
ඔබේ ශුද්ධ මාලිගාව කෙලෙසුවෝ ය. 
ජෙරුසලම් නගරය නටබුන් ගොඩක් කළෝ ය. 
2 ඔබේ සේවකයන්ගේ මළකඳන් ඔව්හු ආකාශ පක්ෂීන්ට කෑමට දුන්නෝ ය.
ඔබේ දැහැමියන්ගේ මාංසය මිහි පිට තිරිසනුන්ට කෑමට දුන්නෝ ය. 
3 ඔව්හු ඔවුන්ගේ ලේ ජෙරුසලම වටා ජලය මෙන් වැගිරෙවුවෝ ය. 
ඔවුන් වැළලීමට කිසිවෙක් නොසිටියෝ ය. 
4 අපේ අසල්වැසියන් හට අපි සරදමක් වූයෙමු; 
අප අවට සිටින්නන් හට විහිළුවක් ද නින්දාවක් ද වූයෙමු. 
5 අහෝ සමිඳුනි! 
ඔබ කොපමණ කල් කෝප වී සිටින සේක් ද?
සදහට ම ද? 
ඔබේ උදහස කොපමණ කල් ගින්න මෙන් දැවෙන්නේ ද?

8 අපේ පියවරුන්ගේ දුෂ්ට ක්‍රියා අපට විරුද්ධ ව සිහි නොකළ මැනව.
ඔබේ මෘදු දයාව අප කෙරෙහි විගස පැමිණෙවුව මැනව. 
අපේ බලාපොරොත්තු සියල්ල සුන් වී ඇත. 
9 අපේ මිදුම්කාර දෙවිඳුනි, ඔබේ මහිමාන්විත නාමය නිසා අපට සරණ වුණ මැනව; 
ඔබේ නාමය උදෙසා අප මුදා අපට කමා කළ මැනව.


සුවිශේෂය /ලූක් 10:13-16

13 ''එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි. 14 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. 15 එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය. 16 ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.''

Comments