Ada Supuwatha අද සුපුවත-ඔක් 07 ,සෙනසුරාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමුවන කියවීම /බාරුක් 4:5-12,27-29

5 මාගේ සෙනඟෙනි, දිරි වඩන්න. 
ඔබ ඉශ්රායෙල් නාමය පණගන්වන අය වන්නහු ය. 
6 විජාතීන්ට ඔබ විකුණනු ලැබුවහු ය; 
එහෙත්, එය ඔබේ වැනසීමට නොවේ. 
ඔබ දෙවිඳුන් ප්‍රකෝප කළහු ය; 
එබැවින්, හතුරන් අතට පාවා දෙනු ලැබුවහු ය. 
7 දෙවිඳුන්ට නොව යකුන්ට පඬුරු පිදීමෙන් ඔබ මැවුම්කරුවාණන් ප්‍රකෝප කළහු ය.
8 ඔබ තමන් ඇතිදැඩි කළ; 
සදාතන දෙවිඳුන් අමතක කළහු ය; 
ඔබට කිරි දුන් ජෙරුසලම් නගරයට ඔබ දුක් දුන්නහු ය.
9 දේව උදහස ඔබ පිට වැටෙන විට, ඇය කතා කොට මෙසේ කීවා ය: 
සියොන් අසල්වැසියෙනි, සවන් දෙන්න. 
දෙවිඳාණෝ මහ දුකක් මා වෙත එවූ සේක. 
10 සදාතන තැනැන් වහන්සේගේ තීන්දුව පරිදි වහල්කමට ගිය මාගේ දූදරුවන් මම දුටිමි.
11 මම ඔවුන් ප්‍රීතියෙන් ඇතිදැඩි කෙළෙමි. 
දුකින් කඳුළු හෙළමින් ඔවුන් යන රඟ බලා සිටියෙමි. 
12 ඔබෙන් කිසිවෙක් මා ගැන ප්‍රීති නොවන්න. 
මම බොහෝ අය විසින් අහකදමනු ලැබූ වැන්දඹුවක්මි; 
දේව නීතියෙන් අහක ගිය මාගේ ම දරුවන්ගේ පව් නිසා මම හුදකලා ව දුක් වෙමි.


27 මාගේ දරුවෙනි, දිරිමත් වන්න, දෙවිඳුන් අයැදින්න, ඔබට විපත් එවූ එතුමා ඔබ සිහි කරනු ඇත. 
28 ඔබේ කැමැත්තෙන් ම ඔබ දෙවිඳුන්ගෙන් ඈත් වී ගිය ලෙස දැන් ඉතින් ආපසු හැරී බොහෝ වැර වඩා එතුමන් සොයන්න. 
29 මන්ද, එතුමන් ඔබට විපත් පැමිණෙවු සේ ම ඔබ මුදා සදා සතුට ඔබට දෙනු ඇත. 



පිළිතුරු ගීය :සමිදාණෝ දිලිදුන් හට සවන් දෙන සේක

32 පීඩිතයෝ මෙය දැක ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; 
දෙවිඳුන් සොයා යන්නෝ දිරිමත් වන්නෝ ය. 
33 මන්ද, සමිඳාණෝ දිළිඳුන් හට සවන් දෙන සේක; 
හිරගත වී සිටින තම සෙනඟ අත් නොහරින සේක. 
34 අහසත්, පොළොවත් උන් වහන්සේට ප්‍රශංසා කරත් වා! 
මුහුදත්, එහි හැසිරෙන සියල්ලෝත් එතුමන්ට ප්‍රශංසා කරත් වා! 
35 දෙවිඳාණෝ සියොන් කන්ද මුදාගෙන ජුදාගේ නගර ගොඩනඟන සේක. 
එතුමන් සෙනඟ එහි වසමින් එය භුක්ති විඳින්නෝ ය. 
36 එතුමන්ගේ සේවක පෙළපත එය උරුම කරගන්නෝ ය. 
දෙව් නමට පෙම් කරන්නෝ එහි වාසය කරන්නෝ ය.



සුවිශේෂය /ලූක් 10:17-24



17 ඉන්පසු dසැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, ''ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති''යි කී හ. 18 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''සාතන් විදුලියක් මෙ‍න් අහසින් වැටෙනු දිටිමි. 19 බලන්න, සර්පයන් ද ගෝනුස්සන් ද පාගන්ටත්, සතුරාගේ මුළු ශක්තිය මැඬලන්ටත් මා ඔබට බලය පවරා ඇත; කිසිවකින් ඔබට අනතුරක් නොවෙයි. 20 එසේ වුව ද අශුද්ධාත්මයන් ඔබට යටත් වන නිසා සන්තෝෂ නොවන්න; ඔබගේ නාම ස්වර්ගයෙහි ලියා ඇති නිසා සන්තෝෂ වන්නැ''යි වදාළ සේක.
21 ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, ''ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය. 22 මාගේ පියාණන් වහන්සේ සියල්ල ම මට පවරා දී තිබේ. පුත්‍රයාණෝ කවරෙක් දැ යි පියාණන් වහන්සේ හැර අන් කිසිවෙක් නොදනිති. එසේ ම පුත්‍රයාණනුත්, පුත්‍රයාණන් විසින් පියාණන් වහන්සේ එළිදරව් කිරීමට තෝරාගනු ලැබූ අයත් හැර අන් කිසිවෙක් පියාණන් වහන්සේ කවරෙක් දැ යි නොදනිති''යි වදාළ සේක. 23 එවිට උන් වහන්සේ ශ්‍රාවකයන් සමඟ තනියම සිටිය දී ඔවුන්ට කතා කොට, ''ඔබ නරඹන දේ දකින ඇස් භාග්‍යවන්ත ය. 24 මෙ‍ය මම ඔබට කියමි, ඔබ දකින දේ දකින්ටත්, ඔබ අසන දේ අසන්ටත් බොහෝ දිවැසිවරු ද රජවරු ද අපේක්ෂාවෙන් සිටියහ. එහෙත් ඔවුන් එය දුටුවේ වත් නැත, ඇසුවේ වත් නැතැ''යි වදාළ සේක.


Comments