Ada Supuwatha අද සුපුවත-ඔක් 10 අඟහරුවාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්



පළමු කියවීම / ජෝනා 3:1-10

1 සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2 ''නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ''යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3 එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4 ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, ''තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ''යි මොරගසා ප්‍රකාශ කෙළේ ය. 
5 නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය. 
6 ඒ ආරංචිය නිනිවයේ රජු වෙත පැමිණි විට, ඔහු සිංහාසනයෙන් බැස, තම සළුව ඉවත ලා දළ රෙදි පොරවාගෙන අළු පිට හිඳගත්තේ ය. 7 එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පළ කෙළේ ය. ඒ මෙසේ ය: 
''මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝගය පරිදි, මිනිසෙක් වත්, මෘගයෙක් වත්, ගවයෙක් වත්, බැටළුවෙක් වත් කිසි ම දෙයක රස නොබලා වා! කිසි කෑමක් නොකා වා! වතුර නොබෝ වා! 8 මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා! 9 අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.'' 
10 දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.



පිළිතුරු ගීය :සමිදුනි ,අපගේ අයුතුකම් ඉවතලුව මැනව

1 සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි. 
2 සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව. 
3 සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද? 
4 එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක. 
7 එම්බා ඉශ්රායෙල් ජනයෙනි! 
සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. 
මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. 
ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය. 
8 එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.


සුවිශේෂය /ලූක් 10:38-42

38 තවද ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ යද්දී, උන් වහන්සේ එක් ගමකට ඇතුළු වූ සේක. එවිට මාර්තා නම් එක් ස්ත්‍රියක් සිය නිවසට උන් වහන්සේ පිළිගත්තා ය. 39 ඇයට මරියා නම් සහෝදරියක් වූවා ය. ඈ සමිඳාණන් වහන්සේගේ පාමුල හිඳ උන් වහන්සේගේ ඉගැන්වීමට සවන් දුන්නා ය. 40 එහෙත් මාර්තා සත්කාර කටයුතු වැඩි වීමෙ‍න් කරදර වී සිටියා ය. ඈ උන් වහන්සේ වෙතට පැමිණ, ''ස්වාමීනි, මාගේ සහෝදරිය පැත්තකට වී සත්කාර කටයුතු මා පිට ම පවරා සිටින හැටි ඔබ සලකන්නේ නැද් ද? එබැවින් මට උදව් කරන්නට ඈට කිව මැනවැ''යි කීවා ය. 41 එහෙත් සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, ''මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කරදර වෙමින් නළංගු වන්නෙහි ය. 42 එහෙත් අවශ්‍ය එක දෙයකි. මරියා යහපත් දෙය තෝරාගෙන ඇත; එය ඈ කෙරෙන් පැහැරගනු නොලැබේ ය''යි වදාළ සේක.


Comments