Ada Supuwatha අද සුපුවත-ඔක් 14,සෙනසුරාදා -දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /ජෝවෙල් 3:12-21

12 ''ජාතීහු සැරසී ජෙහෝෂාපාට් මිටියාවතට නැඟිට එත් වා!
මන්ද, අවටින් සිටින සකල ජාතීන් විනිශ්චය කිරීමට මම එහි අසුන් ගන්නෙමි. 
13 අස්වැන්න පැසී ඇති බැවින් දෑකැත්ත යොදන්න; 
මිදි යන්ත්‍ර පිරී ඇති බැවින් ඇතුළට ගොස් පාගන්න; 
ඔවුන්ගේ නපුරුකම් අධික බැවින් බඳුන් උතුරා යයි.'' 
14 කෝටි සංබ්‍යාත මහා ජනකායක් තීන්දු දීමේ මිටියාවතේ රැස් වී සිටිති. 
තීන්දු දීමේ මිටියාවතෙහි සමිඳුන්ගේ දවස ළං ව ඇත. 
15 ඉර හඳ අඳුරු වී ඇත; 
තරුවල දීප්තිය නිවී ගොස් ඇත.16 සමිඳාණෝ සියොන්හි ගර්ජනා කරන සේක; 

ජෙරුසලමේ සිට හඬ නඟන සේක. 
අහසත් පොළොවත් කම්පා වනු ඇත. 
එහෙත්, සමිඳාණෝ සිය සෙනඟට රක්ෂා ස්ථානයක් වන සේක.
ඉශ්රායෙල් ජනයාට බලකොටුවක් වන සේක. 
17 ''ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය.
මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. 
ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. 
විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය. 
18 ඒ කාලයේ දී, කඳුවලින් මිදියුස වෑස්සෙනු ඇත; 
හෙල්වලින් කිරි ගලා යනු ඇත. 
ජුදාහි සියලු ඇල දොළවල වතුර පිරෙනු ඇත. 
සමිඳුන්ගේ මාලිගාවෙන් උල්පත් නික්ම ෂිට්ටිම් මිටියාවතට වතුර දෙනු ඇත. 
19 ජුදා වැසියන්ට බලහත්කාරකම් කොට, ඒ රටේ මිනිසුන් මරාදැමූ නිසා මිසර දේශය පාළුකරයක් වන්නේ ය.
ඒදොම් රට මරුකතරක් වන්නේ ය. 
20 ජුදාහි සදහට ම ද ජෙරුසලමේ පරම්පරාවෙන් පරම්පරාවට ද සෙනඟ වාසය කරනු ඇත.
21 මන්ද, සමිඳාණෝ සියොන් කන්දේ වැඩ වාසය කරන සේක. 
සියලු වරදකරුවන්ට මම දඬුවම් දෙමි. 
ඔවුන්ගේ ලේ වැගිරීමේ වරද ගැන මම පළිගනිමි.''


පිළිතුරු ගීය :දැහැමියන් සමිදුන් තුල ප්‍රීති ප්‍රමෝද වෙත්වා

1 සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! 
දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා! 
2 වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය.

5 කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය;
මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය. 
6 දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; 
සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය. 

11 දැහැමියන් මත එළිය බබළයි; 
යහපත් අය මත සතුට දිළිසෙයි. 
12 සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා!
එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!


සුවිශේෂය /ලූක් 11:27-28

27 උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී, සමූහයා කෙරෙන් එක් ස්ත්‍රියක් හඬනඟා, ''ඔබ දැරූ කුසය ද ඔබට කිරි දුන් පියයුරු ද භාග්‍යවන්ත ය''යි උන් වහන්සේට කීවා ය. 28 උන් වහන්සේ ද, ''එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය''යි වදාළ සේක.

Comments