Ada Supuwatha අද සුපුවත - නොවැ 16,බ්‍රහස්පතින්දා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /සලමොන්ගේ ප්‍රඥාව 7:22 - 8:122

ප්‍රඥාව තුළ ඇති ආධ්‍යාත්මය නැණ නුවණින් යුක්ත ය. 
ශුද්ධවන්ත ය; 
සුවිශේෂ ය; 
විවිධ ය; 
සියුම් ය; 
ක්‍රියාකාරී ය; 
කැපෙන සුලු ය; 
අකලංක ය; 
පැහැදිලි ය; 
පහර නොලබන සුලු ය; 
කාරුණික ය; 
මුවහත් ය; 
23 නොවැළැක්විය හැකි ය;
ත්‍යාගශීලී ය; 
මිනිසාට ප්‍රේම කරන සුලු ය;
ස්ථිර ය; 
විශ්වාස කටයුතු ය; 
නොකැළඹෙන සුලු ය; 
සවි බලැති ය, සියල්ල දකින සුලු ය; 
නුවණ ඇති ය; 
පවිත්‍ර හා ඉතා සියුම් ය; 
ආත්මයන් විනිවිද යන සුලු ය. 


24 ප්‍රඥාව අන් සියල්ලට වඩා කාර්යක්ෂම ය; 
ඇය ඉතා පිරිසිදු බැවින් සියල්ල විනිවිද යයි; 
සියල්ල තුළ ව්‍යාප්ත වෙයි. 
25 ප්‍රඥාව වනාහි දේව බලවේගයේ හුස්මය ය;
සවි බලැති දෙවිඳුන්ගේ මහිමයෙන් නික්ම එන පවිත්‍ර ප්‍රභවය ය; 
එබැවින් අපවිත්‍ර කිසිවකට එහි ඇතුළු විය නොහැකි ය. 
26 ඇය සදා ආලෝකයේ ප්‍රතිබිම්බය ය; 
ක්‍රියාශීලී දේව බලයේ අකලංක කැඩපත ය; 
එතුමාණන්ගේ යහපත්කමේ ස්වරූපය ය. 
27 හුදකලා ව සිටින නමුත්, ඇයට සියල්ල කළ හැකි ය. 
ඇය නොවෙනස් වන සුලු ය. 
ඇය සියල්ල අලුත් කරයි. 
සැම පෙළපතක ම ශුද්ධවන්තයන් තුළට ඇය පිවිසෙයි.
ඇය ඔවුන් දේව මිත්‍රයන් සහ දිවැසිවරුන් කරවයි. 

28 මන්ද, දෙවිඳුන් ප්‍රේම කරන්නේ ප්‍රඥාව සහිත ව ජීවත් වන මිනිසාට පමණක් ය. 
29 ඇය සූර්යයාට වඩා තේජාන්විත ය; 
ඇය සියලු තාරකා පංති අබිබවා බබළයි. 
ආලෝකය හා සැසඳු විට ඇය මුල් තැන ගනියි. 
30 මන්ද, ආලෝකය රාත්‍රියට ඉඩ දිය යුතු යි. 
එහෙත්, නපුරට නම්, 
කිසි දා ප්‍රඥාව ජයගත නොහැකි ය.



පිළිතුරු ගීය :සමිදුනි ,ඔබේ වදන් සදාතනිකය 

89 සමිඳුනි, ඔබේ වචනය සදාතනික ය;
එය තිර ලෙස සගලොව ඇත. 
90 ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවත්නේ ය. 
ඔබ පොළොව පිහිටෙවු සේක. 
එය ස්ථිර ව පවතී. 
91 ඔබේ නියමයන් ලෙස ඒ මැවිලි අද දක්වා පවතී.
මන්ද, සියල්ල ඔබට මෙහෙ කරයි. 


130 ඔබේ වචන පැහැදිලි වන විට ආලෝකය ලැබේ. 
එයින් අනුවණයන්ට නුවණ ලැබේ. 

135 දයාවෙන් මා දෙස බැලුව මැනව; 
ඔබේ පණත් මට ඉගැන්නුව මැනව. 
175 ඔබට ප්‍රශංසා කරන පිණිස මට ජීවත් වන්නට ඉඩ දුන මැනව.
ඔබේ නියමයෝ මට උපකාරවත් වෙත් වා! 



සුවිශේෂය /ලූක් 17:20-25

20 ''දෙවියන් වහන්සේගේ රාජ්‍යය කවර කලෙක පහළ වන්නේ දැ''යි පරිසිවරුන් ඇසූ බැවින්, උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ''දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඇසට පෙනෙන අයුරින් නොපැමිණෙයි. 21 මෙ‍න්න මෙ‍තැන ය, අන්න අතැන යයි කිසිවෙකුට කිව නොහැකි ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ gඅතරෙහි ය''යි වදාළ සේක. 

22 උන් වහන්සේ ශ්‍රාවකයන්ට මෙ‍සේ වදාළ සේක: ''මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩ සිටින දවස්වලින් එකක් වුව ද දැකීමට ඔබ ආශාවන කාලයක් පැමිණෙයි; එහෙත් ඔබ එය නොදක්නාහු ය. 23 'අන්න, එතැන ය! මෙ‍න්න මෙ‍තැන ය!'යි ඔවුන් කියන කල, පිටත් වී එය පසුපස්සේ නොයන්න. 24 අහසෙහි එක් දිශාවකින් පහළ වන විදුලිය අහසේ අනෙක් දිශාව දක්වා බබළන්නාක් මෙ‍න්, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පහළ වන දවසේ දී බබළන සේක. 25 එහෙත් පළමුකොට එතුමාණෝ බොහෝ දුක් විඳ මේ පරම්පරාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුත්තාහ.

Comments