Ada Supuwatha -අද සුපුවත -නොවැ 18,සෙනසුරාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්



පළමු කියවීම /සලමොන්ගේ ප්‍රඥාව 18:14-16,19:6-9

14 සව් සත නිහඬ ව සාමයෙන් සිටිද්දී රාත්‍රියෙන් අඩක් විගස ගෙවී ගොස් තිබෙද්දී 
15 සගලොවින් රාජ සිහසුණෙන් සව් බලැති ඔබේ වචනය තුමූ බැස වදාළ සේක. 
ඒ ධීර වීර සෙබළාණෝ විනාශයට නියම වූ දේශය මැදට වැඩිය සේක. 
එතුමාණෝ මුවහත් කඩුවක් මෙන් ඔබේ පැහැදිලි ආඥාව ක්‍රියාවේ යොදවමින් 
16 වැඩ සිටිය සේක. මුළු විශ්වය මරණයෙන් පුරවා ලූ සේක. 
අහස ස්පර්ශ කළ නමුත් එතුමාණෝ මිහි මත ගමන් කළ සේක. 


6 එහෙත්, සියලු අනතුරින් ඔබේ ජනතාව ගළවාලනු පිණිස මුළු මැවිල්ල ම ඔබේ අණට කීකරු වී සොබා දහමේ නවතාවකින් හැඩගැසුණේ ය. 
7 කඳවුරට ඉහළින් වලාකුළක් මතු විය. 
ජලය තිබූ ස්ථානයේ වියළි ගොඩබිම හටගැනිණි. 
රතු මුහුද බාධා විරහිත මාර්ගයක් විය. 
බිහිසුණු මුහුදු ජලය පලාවන් තණ බිමක් විය. 
8 ඔබේ හස්තයෙන් ආවරණය ලැබ මුළු ජාතිය ම මේ අරුමපුදුම හාස්කම් දෙස බල බලා මුහුද මැදින් ගමන් කළො‍් ය. 
9 ජනතාව තණ බිමේ සිටින අසුන් මෙන් වූ හ. 
සමිඳුනි, ඔවුන්ගේ විමුක්තිදායකයාණන්ගේ පසස් ගී ගය ගයා ඔව්හු බැටළු පැටවුන් මෙන් පැන පැන ගියහ.


පිලිතුරු ගීය :සමිදුන්ගේ පුදුම ක්‍රියා සිහි කරමු 

2 එතුමන්ට ගී ගයන්න; 
එතුමන්ට පසස් ගී ගයන්න; 
එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. 


3 එතුමන්ගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න; 
සමිඳාණන් සොයන්නන්ගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේ වා! 

36 එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.

37 එවිට, එතුමාණෝ ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ රන් රිදී සමඟ පිටතට ගෙනා සේක. 
ඔවුන්ගේ ගෝත්‍ර අතර එක දුබලෙයක් වත් නො වී ය. 

42 එතුමාණෝ සිය මෙහෙකරු ආබ්‍රහම් ද ඔහුට දුන් ශුද්ධ ගිවිසුම ද සිහි කළ සේක.
43 මෙසේ එතුමාණෝ සිය සෙනඟ පිටත ගෙන ගිය සේක. 
ඔව්හු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟා ගී ගැයූ හ. 


සුවිශේෂය /ලූක් 18:1-8

1 තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:

 2 ''එක් නුවරක දෙවියන්ට බිය නැති, මිනිසුන්ට ගරු නොකරන විනිශ්චයකාරයෙක් වී ය. 3 එම නුවර වැන්දඹුවක් ද වූවා ය; ඈ නොයෙක් වර ඔහු වෙත ගොස්, 'මාගේ විරුද්ධකාරයා මට කළ අයුක්තියට, යුක්තිය ඉෂ්ට කළ මැනවැ'යි කීවා ය. 4 ඔහු කලක් ඒ ඉල්ලීම නොසලකා හැරියේ ය. පසුව ඔහු තමාට ම මෙ‍සේ කියාගත්තේ ය, 'මා දෙවියන් වහන්සේට ගරුබිය නොපෑවත්, මනුෂ්‍යයන්ට ගරු සරු නොකළත්, 5 මේ වැන්දඹුවගේ, කරදරය නිසා ඈ නිතර පැමිණ මා නොවෙහෙසන පිණිස, ඈට යුක්තිය ඉටු කර දෙමි'යි කීයේ ය.'' 

6 තවද, සමිඳාණන් වහන්සේ කතා කොට, ''මේ අධාර්මික විනිශ්චයකාරයා කියන දේ අසන්න. 7 දෙවියන් වහන්සේත්, දිවා රෑ දෙක්හි තමන් හට අයැදින, තමන් තෝරාගත් අය ගැන යුක්තිය ඉටු නොකරන සේක් ද? උන් වහන්සේ ඔවුන් ගැන බොහෝ නොඉවසන සේක් ද? 8 උන් වහන්සේ ඔවුන්ට වහා ම යුක්තිය ඉටු කරන සේකැ යි, මම ඔබට කියමි.

 එසේ වුව ද, මනුෂ්‍ය-පුත්‍රයාණන් වඩිනා කල මිහි පිට ඇදහිල්ල ඇති අය උන් වහන්සේට සම්බ වනු ඇද්දැ''යි ඇසූ සේක.

මෙනෙහි කිරීම 


යැදුම අප හා දෙවි පියා අතර සිදුවන කතා බහයි .අපට අපගේ බොහෝ දේ කීමටත් එතුමන් අපට කියන දේට සවන් දීමටත් ඇති එකම මග එයයි .යමෙකු බොහෝ යාච්ඥා කරන තරමට ඔහු දෙවියන් වෙතට බොහෝ ලං වනු ඇත .

Comments