Ada Supuwatha - අද සුපුවත -නොවැ 24,සිකුරාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමුවන කියවීම /1 මකබි 4:36-37,52-59

36 එවිට ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ කතා කොට, ''දැන් ඉතින් අපේ සතුරන් පරාජය කරනු ලැබූ බැවින් අපි ශුද්ධස්ථානයට ගොස් එය කැප කරමු''යි කීවෝ ය. 37 එබැවින් මුළු සේනාව සංවිධානය කොට සියොන් කන්දට ගියෝ ය.


 52-53 වර්ෂ එකසිය හතළිස් අටේ, කිස්ලෙව් යන නව වන මාසයේ විසිපස් වන දින ඔව්හු අලුයම නැඟිට තමන් සෑදූ අලුත් දවන යාග පූජාසනය මත නීතිගත පූජා පඬුරක් ඔප්පු කළහ. 54 ඔව්හු ගීතිකා ගායනා කරමින්, නළා හඬවා, වීණා වයා, අත්තල් ගසා, පූජාසනය කැප කළහ. ඊට කලින් විජාතිකයන් පූජාසනය කෙලෙසූ වසරේ එම කාලයෙහි ම, එම දවසේ ම එය කැප කරන ලදී. 55 මුළු සෙනඟ නමස්කාර කරමින් මුණින්තළා වැටී ඔවුන්ට ඒ සා මහත් ජයග්‍රහණයක් දුන් දෙවියන් වහන්සේට, ඉමහත් ලෙස ප්‍රශංසා කළහ. 56 ප්‍රීතියෙන් ප්‍රමො‍්ද වී දවන යාග පූජා ද, සහභාගිකමේ පූජා ද, ස්තුතිදීමේ පූජා ද ඔප්පු කරමින්, ඔව්හු දවස් අටක් ම පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්වූ හ. 


57 ඔව්හු මාලිගාවේ ඉදිරිපස, රන්මය ඔටුනු හා කුඩා පලිහවලින් සරසා, දොරටු සහ ගබඩා කාමර අලුත්වැඩියා කොට ඒවාට දොරවල් සවි කළහ. 58 ජනයා අතර ප්‍රීති ප්‍රමො‍්දය නිම්හිම් නැති විය. මෙලෙස ඔව්හු විජාතිකයන් නිසා සිදු වී තිබුණු අපකීර්තිය නැති කළහ. 59 තවද, ජූදස් සහ ඔහුගේ සහෝදරයෝ ද, ඉශ්රායෙල්වරුන්ගේ මුළු සභාව ද, වසරක් පාසා නියමිත කාලයේ දී එනම්, කිස්ලෙව් මාසයේ විසිපස් වන දින පටන් දවස් අටක් ම ප්‍රීති සන්තෝෂයෙන් පූජාසනය කැප කිරීමේ උත්සවය පැවැත්විය යුතු බවට නීතියක් පැනවූ හ. 


පිළිතුරු ගීය :සමිදුනි ,අපි ඔබගේ තේජවන්ත නාමය වර්ණනා කරමු

''අපේ පිය වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට සදහට ම ප්‍රශංසා වේවා. 11 සමිඳාණන් වහන්ස, ශ්‍රේෂ්ඨත්වය ද බලපරාක්‍රමය ද තේජස ද වික්‍රමය ද මහිමය ද අයත් ඔබට ය. 

මන්ද, ස්වර්ගයෙහිත්, පොළොවෙහිත් ඇති සියල්ල ඔබේ ය. සමිඳාණන් වහන්ස, රාජ්‍යයත් ඔබට අයිති ය. ඔබ සියල්ල කෙරෙහි විශිෂ්ට ලෙස උසස් ව සිටින සේක. 

12 වස්තුව ද ගෞරවය ද පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබ සියල්ල පාලනය කරන සේක. බලය ද පරාක්‍රමය ද ඔබ අතෙහි ය. 

සියල්ලන් උසස් කරන්නටත්, ශක්තිමත් කරන්නටත්, බලය තිබෙන්නේ ඔබ අතෙහි ය.


සුවිශේෂය /ලූක් 19:45-48

45 උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු වී, එහි සිටි වෙළඳුන් පලවා හරින්න පටන්ගෙන, 46 '' 'මාගේ ගෘහය යාච්ඤාවේ ගෘහයක් වන්නේ ය'යි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ ය''යි ඔවුන්ට වදාළ සේක. 


47 උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ. 48 මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.



Comments