Ada Supuwatha - අද සුපුවත -නොවැ 26 , ඉරිදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍යය 


පළමු කියවීම / එසකියෙල් 34: 11-12, 15-17

11 ''මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම ම මාගේ බැටළුවන් ගැන සොයා බලා, උන් රැකබලාගන්නෙමි. 12 එඬේරෙකු තමාගේ බැටළු රැළෙන් විසිර ගිය සමහරෙකු සොයා යන්නාක් මෙන් මමත් මාගේ බැටළුවන් සොයා ගොස්, මීදුම සහ අන්ධකාරය ඇති දවසේ දී උන් විසිරී ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි. 


15 මම ම මාගේ බැටළුවන්ට එඬේරා වන්නෙමි; මම ම උන්ට ලගින්න තැනක් සොයා දෙන්නෙමි. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය. 


16 ''මම නැති වූ බැටළුවා සොයන්නෙමි; මුළා ව ගිය බැටළුවා ආපසු ගෙනෙන්නෙමි; තුවාළ වූ බැටළුවාගේ තුවාළ බඳින්නෙමි; ලෙඩ වූ බැටළුවා ශක්තිමත් කරන්නෙමි; ශක්තිමත් වූ බැටළුවන් රැකබලාගන්නෙමි. මම උන්ට සැබෑ එඬේරෙක් වන්නෙමි. 


17 ''මාගේ බැටළුවෙනි, නුඹලාට දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හොඳ බැටළුවන්ගෙන් නරක බැටළුවන් මම වෙන්කරන්නෙමි. 
පිළිතුරු ගීය : සමිදාණෝ මා එඩේරාණෝ ය ,අඟ හිඟ මට නොවන්නේය .


1 සමිඳාණෝ මා එඬේරාණෝ ය; 

අග හිඟ මට නොවන්නේ ය. 
2 එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3 මා පණගන්වන සේක. 
සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක.
මාගේ කුසලාන උතුරා යන්නේ ය. 
6 ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය.
සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.

දෙවන කියවීම / 1 කොරින්ති 15:20-26 ,28

20 එහෙත් සැබැවින් ම ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වී සිටින සේක් ම ය. මෙය මළවුන් උත්ථාන කරනු ලබන බවට aසහතිකය වේ. 21 මන්ද, එක මිනිසෙකු කරණකොටගෙන මරණය පැමිණියාක් මෙන් ම, එක මිනිසෙකු කරණකොටගෙන මළවුන්ගෙන් උත්ථානය ද පැමිණියේ ය. 22 ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුළ සියල්ලෝ ම ජීවනයට පමුණුවනු ලබන්නො‍් ය. 


23 එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුව ය. හැම දෙනාට ම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේ ය. ඉන්පසු ව, උන් වහන්සේගේ ආගමනයේ දී උන් වහන්සේ සන්තක අය ය. 24 පසුව අවසානය පැමිණේ. එවිට උන් වහන්සේ සියලු අධිපතිකම් ද බලය ද පරාක්‍රමය ද අභිබවා උන් වහන්සේගේ රාජ්‍යය දෙවි පියාණන් වහන්සේට භාර දෙන සේක. 25 මන්ද, දෙවියන් වහන්සේ සියලු සතුරන් උන් වහන්සේගේ පාද යට දමන තුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතු ම ය. 26 නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. 


28 සියල්ල ක්‍රිස්තුන් වහන්සේට යටත් කරනු ලැබූ විට පුත්‍රයාණන් වහන්සේ ද, සියල්ල තමන්ට යටත් කළ දෙවියන් වහන්සේට යටත් කරනු ලබන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ සර්ව පරාක්‍රමයෙන් වැජඹෙන පිණිස ය. 



සුවිශේෂය / මතෙව් 25:31- 46


31 ''මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක. 32 එවිට සියලු ජාතීහු උන් වහන්සේ අබිමුවෙහි රැස් කරනු ලබන්නෝ ය. එඬේරෙකු, එළුවන්ගෙන් බැටළුවන් වෙන් කරන්නාක් මෙන් උන් වහන්සේ ද ඔවුන් වෙන් කොට, 33 බැටළුවන් සිය දකුණු පැත්තෙහි ද එළුවන් වම් පැත්තෙහි ද සිටුවන සේක.

 34 එවිට රජ්ජුරුවන් වහන්සේ සිය දකුණු පසෙහි සිටින්නන්ට කතා කොට, 'මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. 35 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න දුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න දුන්නහු ය. ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට පිළිගත්තහු ය. 36 වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර දුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; ඔබ මා බලාගත්තහු ය. හිරගෙදර සිටියෙමි; ඔබ මා බලන්න ආවහු ය'යි වදාරන සේක. 


37 එකල දැහැමියන් උත්තර දෙමින්, 'ස්වාමීනි, කවර කලෙක ඔබ වහන්සේ සාගිනි ව සිටිය දී අපි ඔබට කෑම දුනිමු ද? පිපාසා වී සිටිය දී බොන්න දුනිමු ද? 38 කවර කලෙක ඔබ වහන්සේ ආගන්තුක ව සිටිය දී ඔබ ගෙදරට පිළිගතිමු ද? නොහොත් වස්ත්‍ර නැති ව සිටිය දී ඇඳුම් දුනිමු ද? 39 කවර කලෙක ඔබ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිය දී ඔබ බලන්න ආවෙමු දැ'යි කියනු ඇත. 40 එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, 'සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ'යි වදාරන සේක. 


41 ''එවිට උන් වහන්සේ වම් පසෙහි සිටින්නන්ට කතා කොට, 'සාප ලද්දෙනි, මා වෙතින් ඉවත් වී යක්ෂයාට ද ඔහුගේ දූතයන්ට ද සූදානම් කර තිබෙන සදාතන ගින්නට යන්න. 42 මන්ද, මම සාගිනි ව සිටියෙමි; ඔබ මට කන්න නුදුන්නහු ය. පිපාසා වී සිටියෙමි; ඔබ මට බොන්න නුදුන්නහු ය. 43 ආගන්තුක ව සිටියෙමි; ඔබ මා ගෙදරට නොපිළිගත්තහු ය. වස්ත්‍ර නැති ව සිටියෙමි; ඔබ මට වස්ත්‍ර නුදුන්නහු ය. රෝගාතුර ව සිටියෙමි; හිරගෙදර ද සිටියෙමි; ඔබ මා බලන්න ආවේ නැතැ'යි වදාරන සේක. 

44 එවිට ඔවුන් උත්තර දෙමින්, 'ස්වාමීනි, කවර කලෙක ඔබ සාගිනි ව හෝ පිපාසා වී හෝ ආගන්තුක ව හෝ වස්ත්‍ර නැති ව හෝ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිනු දැක අපි ඔබ වහන්සේට උපස්ථාන නොකෙළෙමු දැ'යි අසනු ඇත. 45 එවිට උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, සැබැවින් ම මම ඔබට කියමි, මොවුන්ගෙන් ඉතා ම සුළු තැනැත්තාට වුව ද එසේ නොකළා නම් එය නොකෙළේ මට ය'යි වදාරන සේක. 46 මොවුහු සදාතන දඬුවමට ද, දැහැමියෝ සදාතන ජීවනයට ද යන්නෝ ය.''

Comments