Ada Supuwatha - අද සුපුවත - දෙසැ 03 -ඉරිදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

ආගමන සමයේ පළමු ඉරුදින



පළමු කියවීම / යෙසායා 63:16-19,64:1,3-8

16 ඔබ අපේ පියාණෝ ය; 
ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය.
එය අතීතයේ සිට ඔබේ නාමය වේ. 
17 සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද?
ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව. 
18 ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ. 
එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ. 
19 අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.

1 ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? 

එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත. 

3 අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය. 

4 තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, 
ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය. 
5 දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක;
අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක; 
ඔබ කො‍්ප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු. 
අපට ගැළවීම ලැබේ ද? 
6 අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; 
අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. 
අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. 
අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි. 
7 ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. 
ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; 
මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
8 එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. 
අපි මැටි ය; 
ඔබ අපේ කුඹල්කාරයාණෝ ය.
ඔබ අප නිර්මාණය කළ සේක. 

පිළිතුරු ගීය : ලොව පුරා ගොස් සුබ අස්න දේශනා කරන්න

1 ජෝසෙප්ගේ පරපුර බැටළු රැළක් මෙන් ගෙන යන 
ඉශ්රායෙල්වරුන්ගේ එඬේරාණෙනි, අපට සවන් දුන මැනව. 
2 කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව. 
එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව.
අප මුදාගැනීමට වැඩිය මැනව. 

14 අහෝ සව් බලැති දෙවිඳුනි! 

අප වෙත හැරුණ මැනව. 
සගලොව සිට නෙත් යොමා බලා මේ මිදිවැල වන අප රැකගත මැනව. 
15 ඔබේ දකුණතින් රෝපණය කළ දේ සැලකුව මැනව; 
ඔබට ම සවිමත් කරගත් දේ බැලුව මැනව. 

17 ඔබේ හස්තය ඔබේ දකුණු පස සිටින මිනිසා කෙරෙහි පතිත වේ වා!

ඔබේ යහපතට ඔබ ම සවි ශක්තිමත් කළ ජාතිය කෙරෙහි එය පහළ වේ වා! 
18 එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. 

අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. 
අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු. 
19 අහෝ සමිඳුනි! 
සව් බලැති දෙවිඳුනි! 
අප ආපසු ගෙන ගිය මැනව. 
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.

දෙවන කියවීම /1 කොරින්ති 1:3-9

3 අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන් ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබට වේ වා! 

4 ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබට දෙන ලද දේව වරප්‍රසාදය නිසා මම නිතර ම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි. 5-6 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ඔබ තුළ ස්ථීර වී තිබුන බැවින්, ඔබ උන් වහන්සේ තුළ, සියලු ආකාර දෙසීම් ද සියලු ආකාර දැනගැනීම් ද ඇතුළු සියලු දෙයින් ධනවත් වී සිටින්නහු ය. 

7 මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩු ව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහු ය. 8 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේ දී ඔබ නිදොස් ව සිටින පිණිස උන් වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරන සේක. 9 ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සහභාගිකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්ත ය.


සුවිශේෂය /මාර්ක් 13:33-37

 33 නියමිත මොහොත කවදා දැ යි ඔබ නොදන්න බැවින්, පරෙස්සම් වන්න, අවදි ව ඉන්න. 34 ඒ වනාහි සිය දාසයන්ට බලය ද එකිනෙකාට තම තමන්ගේ වැඩ ද පවරා, 'අවදි ව ඉන්නැ'යි දොරටු පාලයාට අණ දී සිය නිවෙසින් පිට වී ගමනක යෙදෙන මනුෂ්‍යයෙකුගේ ආපසු පැමිණීම හා සමාන ය. 

35 ඒ ගෘහපතියා කොයි වේලේ එයි ද, සවස ද මධ්‍යම රාත්‍රියේ ද කුකුළා හඬලන වේලේ ද අලුයම දැ යි, ඔබ නොදන්නා හෙයින්, 36 ඔහු හදිසියෙන් අවුත් ඔබ නිදා හිඳිනු නොදක්නා පිණිස, අවදි ව සිටින්න. 37 ඔබට කියන දෙය හැමට ම කියමි, අවදි ව සිටින්න.''

Comments