Ada Supuwatha -අද සුපුවත -දෙසැ 04-සඳුදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

ශු:ෆ්‍රැන්සිස් සාවියෙර් මුනිතුමන්ගේ මංගල්‍යය 


පළමු කියවීම /ජෙරමියා 1:4-9

4 සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 
5 ''මා නුඹ කුසෙහි පිළිසිඳගැනීම ඇති කරන්නටත් පෙර පටන් මම නුඹ හඳුනාගතිමි. 
නුඹේ උපතට පෙර, මම නුඹ කැප කෙළෙමි; 
ජාතීන් හට දිවැසිවරයෙකු ලෙස මම නුඹ පත් කෙළෙමි.'' 
6 එවිට මම, ''මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි''යි කීවෙමි. 7 එහෙත්,
සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: 
''නුඹ බාලයෙක් යයි නොකියන්න. 
මා නුඹ යවන සියල්ලන් වෙත යන්න. 
මා නුඹට අණ කරන සියල්ල පවසන්න. 
8 ඔවුන්ට බිය නොවන්න. 
මන්ද, නුඹ ගළවන්නට මම නුඹ සමඟ සිටිමි.
මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.'' 
9 එවිට සමිඳාණන් වහන්සේ සිය අත දිගු කොට, මාගේ මුඛය ස්පර්ශ කරමින් මට මෙසේ වදාළ සේක: 
''මෙන්න, මාගේ පණිවුඩය නුඹේ මුඛයෙහි තැබීමි. 


පිළිතුරු ගීය :  ලොව පුරා ගොස් සුභ අස්න දේශනා කරන්න 

1 සකල ජාතීනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න. 
සව් සතුනි, හිමි තුම ගුණ මහිමය වර්ණනා කරන්න. 
2 මන්ද, අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමය ඉමහත් ය, 
එතුමන්ගේ විශ්වාසකම සදහට ම පවත්නේ ය. 
සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


දෙවන කියවීම /1 කොරින්ති 9:16-19 ,22-23

16 මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි. 17 මාගේ ම කැමැත්තෙන් මම සුබ අස්න දේශනා කරම් නම්, වැටුපක් ලබාගැනීමේ අයිතියක් මට ඇත. එහෙත් මම මාගේ කැමැත්ත නොතකා, එම සේවය කරම් නම්, මා එසේ කරන්නේ දෙවියන් වහන්සේ මට පැවරූ කාර්යයක් ලෙස ය. 18 එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.

19 මම සියල්ලන් අතර නිවහල් කෙනෙක් වුවත්, බොහෝ දෙනෙකු දිනාගන්නා පිණිස සියල්ලන්ගේ වහලෙක් වීමි.

22 දුර්වලයන් දිනාගන්නා පිණිස, මම දුර්වලයන්ට දුර්වලයෙක් වීමි. කෙසේ හෝ වේවා ටික දෙනෙකු වුවත් දිනාගන්නා පිණිස, මම සියල්ලෙහි දී ඒ ඒ තැනට ඔබින ලෙස ක්‍රියා කෙළෙමි. 23 මා මේ සියල්ල කරන්නේ, සුබ අස්න උදෙසා එහි ආශීර්වාදවලට හවුල්කාරයෙකු වන පිණිස ය.


සුවිශේෂය /මාක් 16:15-20

15 උන් වහන්සේ ඔවුන් අමතා, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18 සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති''යි වදාළ සේක.

19 මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. 
ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.d



Comments