Ada Supuwatha -අද සුපුවත - දෙසැ 20,බදාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /යෙසායා 7:10-14

10 සමිඳාණන් වහන්සේ ආහාස්ට තවත් පණිවුඩයක් යවමින්, 11 ''නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ''යි වදාළ සේක. 
12 එහෙත්, ආහාස් උත්තර දෙමින්, ''මම නොඉල්ලමි; සමිඳාණන් වහන්සේ පරීක්ෂා නොකරමි''යි කී ය. 

13 එයට යෙසායා මෙසේ පිළිතුරු දුන්නේ ය: ''එම්බා දාවිත්ගේ වංශය, දැන් සවන් දෙන්න; නුඹලා මාගේ දෙවියන් වහන්සේගේ ඉවසීම වෙහෙසන්නේ, නුඹලා මනුෂ්‍යයන්ගේ ඉවසීම වෙහෙසනවා මදිවාට ද? 14 සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය. 


පිළිතුරු ගීය :ප්‍රතාපවත් මහා නිරිදාණෝ වඩින සේක .එතුමාණන්ට වාසල් දොරටු විවෘත කරන්න

1 පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති. 
2 මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. 
3 හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? 
එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද? 
4 ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
5 එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; 
මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති. 
6 දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.

සුවිශේෂය /ලූක් 1:26-38

26 සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ, 27 දාවිත් රජ පරපුරෙන් පැවත එන ජෝසෙප් නම් මනුෂ්‍යයෙකු හට විවාහ ගිවිසුම් දී සිටි කන්‍යාවක වෙත යවන ලදී. ඒ කන්‍යාවගේ නම මරියා ය. 28 දේව දූතයා ඈ සිටි තැනට පැමිණ, ''විපුල ප්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ; සමිඳාණන් වහන්සේ ඔබ සමඟ ය''යි කී ය. 29 එහෙත්, ඈ ඒ වදන් අසා අතිශයින් කැළඹී මේ කෙබඳු ආචාරයක් දැ යි සිත සිතා සිටියා ය. 30 දේව දූතයා ඈට කතා කොට, ''මරියාණනි, බිය නොවන්න, ඔබ දෙවියන් වහන්සේගෙන් වරප්‍රසාදය ලද්දෙහි ය. 31 මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න. 

32 ''උන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන සේක, පරමෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක; උන් වහන්සේගේ පිය වූ දාවිත්ගේ සිංහාසනය දෙවි ස්වාමීන් වහන්සේ උන් වහන්සේට ප්‍රදානය කරන සේක; 33 උන් වහන්සේ ජාකොබ්ගේ වංශය කෙරෙහි සදහට ම රජකම් කරන සේක; උන් වහන්සේගේ රාජ්‍යය කෙළවරක් නොදක්නේ ය''යි කී ය. 


34 එවිට මරිය තුමී දේව දූතයාට කතා කොට, ''මට පුරුෂයෙකු නැති බැවින් මෙ‍වැන්නක් කෙසේ විය හැකි දැ''යි ඇසුවා ය. 35 දේව දූතයා ඈට උත්තර දෙමින්, ''ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පහළ වන සේක; පරමෝත්තමයාණන්ගේ ආනුභාවය ද ඔබ වසාගන්නේ ය. එහෙයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ යයි කියනු ලබන සේක. 36 බලන්න, ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේ දී පුතෙකු පිළිසිඳගත්තා ය. වඳ යයි කී ඇයට දැන් සවැනි මාසය ය. 37 මක්නිසා ද, දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැ''යි කීවේ ය. 38 මරිය තුමී කතා කරමින්, ''බලන්න, මම සමිඳාණන් වහන්සේගේ දාසිය වෙමි; ඔබ පැවසූ ලෙස ම මට ඉටු වේ වා''යි කීවා ය. එවිට දේව දූතයා ඈ කෙරෙන් වෙන් ව ගියේ ය.

Comments