Ada Supuwatha - අද සුපුවත - ජනවාරි 10 බදාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පළමු කියවීම /1 සාමුවෙල් 3:1-10,19-20

1 ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය. 2 දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය. 


3 සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය. 4 එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, ''මම මෙහි ය''යි කී ය. 5 එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, ''ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය''යි කීවේ ය. ඒලී ද, ''මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ''යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය. 

6 සමිඳාණන් වහන්සේ නැවතත්, ''සාමුවෙල්'' කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, ''ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය''යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, ''මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ''යි කීවේ ය. 7 සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. 
8 සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, ''ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය''යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. 9 එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, ''ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, 'සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා'යි කියන්නැ''යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය. 
10 එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, ''සාමුවෙල්, සාමුවෙල්,'' කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, ''කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය''යි කීවේ ය. 

19 සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක. 20 සාමුවෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු වශයෙන් ස්ථිර කරන ලද බව, උතුරේ සිට දකුණ දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරු දැනගත්තෝ ය.


පිලිතුරු ගීය :මාගේ දෙවියනි ,ඔබ වහන්සේගේ කැමැත්තට මම ප්‍රිය වෙමි

2 හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක. 

3 දෙවිඳුන් හට තුති පවසන, නව ගීයක් මා මුවේ තැබූ සේක. 
මෙය දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලළී, සමිඳුන් කෙරේ අදහනු ඇත. 
4 පිළිම රූප නොනමදින, බොරු දෙවිවරුන් නොඅදහන, සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි.
6 ඔබ පුද පඬුරට ප්‍රසන්න නැත; 
දවන යාග පූජා හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත.
ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන් සේක. 
7 එවිට මම, ''මෙන්න, මම මෙහි ය''යි කීවෙමි. 
''මා පිළිබඳ අණපණත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත. 
8 මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.''
9 සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. 
නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.


සුවිශේෂය /මාක් 1:29-39

29 ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ. 30 සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. 31 උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.

32 සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. 33 නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. 34 උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.


35 හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක. 36 සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්, 37 සම්මුඛ වී, ''හැම දෙන ම ඔබ සොයති''යි පැවසූ හ. 38 උන් වහන්සේ උත්තර දෙමින්, ''අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය''යි වදාළ සේක. 39 උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.


Comments