Ada Supuwatha - අද සුපුවත - ජනවාරි 21 ඉරිදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්



පළමු කියවීම /ජෝනා 3:1-5,10

1 සමිඳාණන් වහන්සේගේ පණිවුඩය දෙ වන වරට ජෝනා වෙත පැමිණියේ ය. 2 ''නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ''යි සමිඳාණන් වහන්සේ වදාළ සේක. 3 එවිට ජෝනා නැඟිට සමිඳාණන් වහන්සේ නියම කළ පරිදි නිනිවයට ගියේ ය. නිනිවය ඉතා විශාල නගරයකි. එය හරහා යාමට දවස් තුනක් ගත වේ. 4 ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර, ''තව දින සතළිසකින් නිනිවය වැනසෙනු ඇතැ''යි මොරගසා ප්‍රකාශ කෙළේ ය.
5 නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


10 දෙවියන් වහන්සේ ඔවුන් කළ දේත්, ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුත් දැක, ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකළ සේක.

පිළිතුරු ගීය :සමිදුනි ,ඔබ වහන්සේගේ මාවත් මට පැහැදිලි කල මැනව 


4 සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව;
ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5 ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව;
මට එය ඉගැන්නුව මැනව; 


මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය.
දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
6 සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව.
මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.
7 සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව.
සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව. 


8 සමිඳාණෝ යහපත් ය; අවංක ය.
එතුමාණෝ පවිටුන් හට යා යුතු මාර්ගය උගන්වන සේක.
9 එතුමාණෝ නිහතමානී අය යුක්තියෙහි හසුරුවන සේක.
එතුමාණෝ යටහත් පහත් අයට තම මාර්ගය උගන්වන සේක.




දෙවන කියවීම /1කොරින්ති 7:29-31


29 සහෝදරවරුනි, මේ දේ කියනු කැමැත්තෙමි. එනම් වැඩි කාලයක් ඉතිරි වී නැත. මෙතැන් සිට, 30 භාර්යාවන් ඇත්තන්, භාර්යාවන් නැත්තන් මෙන් ද, හඬන්නන් නොහඬන්නන් මෙන් ද, ප්‍රීති වන්නන් ප්‍රීති නොවන්නන් මෙන් ද, මිලයට ගන්නන් ගත් දෙයට අයිතියක් නැති අය මෙන් ද, 31 මෙලොව සැපසම්පත් භුක්ති විඳින්නන්, ඒවායේ ම ඇලීගැලී නොසිටින්නන් මෙන් ද සිටිය යුතු යයි මම ඔබට කියමි. මන්ද, දැන් පවතින මේ ලෝකය පහ වී යන්නේ ය. 


සුවිශේෂය /මාක් 1:14-20


14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ''නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න'' යනුයි.

 16 උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ. 17 ජේසුස් වහන්සේ ඒ දැක, ''මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි''යි වදාළ සේක. 18 එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19 උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක. 20 ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.

Comments