අඟහරුවාදා -Ada Supuwatha - අද සුපුවත - ජනවාරි 23 - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්





පළමු කියවීම /2 සාමුවෙල් 6:12-15,17-19

12 දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය. 13 තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය. 14 දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය. 15 මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.

17 ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය. 18 දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය. 19 තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.


පිළිතුරු ගීය :ප්‍රතාපවත් මහා නිරිදාණෝ සව් බලැති සමිදාණෝ මය .

7 ද්වාරයෙනි, විවෘත ව සිටින්න;
පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න;
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.

 8 ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද?
තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.

9 වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න;
පැරණි දොරටු විවෘත කොට තබන්න.
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.

10 මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද?
ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.

 සුවිශේෂය /මාක් 3:31-35

31 එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ. 32 සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, ''අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති''යි උන් වහන්සේට කී හ. 33 උන් වහන්සේ උත්තර දෙමින්, ''මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද'' කියා පෙන්වමින්, 34 තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, ''මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ! 35 දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය''යි වදාළ සේක.

Comments