Ada Supuwatha - අද සුපුවත - ජනවාරි 13 සෙනසුරාදා - දිව්‍ය පූජාවේ සියලුම කියවීම්



පළමු කියවීම /1සාමුවෙල් 9:1-4,17-19,10:1

1 බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි. 2 ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය. 



3 දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, ''ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ''යි කීවේ ය. 4 ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත. 

17 සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, ''මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය''යි වදාළ සේක. 18 එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, ''අනාවැකි කියන්නාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ''යි කී ය. 
19 සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, ''අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි.

1 එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත් කොට, ඔහු සිඹ මෙසේ කීවේ ය: ''සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟ කෙරෙහි අධිපතියා කොට ඔබ අභිෂේක කරන සේක. ඔබ සෙනඟ පාලනය කොට ඔවුන් සියලු සතුරන්ගෙන් ගළවාගන්නෙහි ය. සමිඳාණන් වහන්සේ තමන් තෝරා ගත් සෙනඟගේ අධිපතියා වශයෙන් ඔබ පත් කළ බවට සාක්ෂිය මෙය වන්නේ ය:



පිළිතුරු ගීය :සමිදුනි ඔබේ බල පරාක්‍රමය අපි වර්ණනා කරන්නෙමු

1 සමිඳුනි, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි; 
ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද! 
2 ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක; 
ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක. 

3 ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; 
ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක. 
4 ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක; 
දිගායු ද ප්‍රදානය කළ සේක. 

5 ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි.
කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක. 
6 ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක; 
ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක. 

සුවිශේෂය /මාක් 2:13-17

13 නැවත උන් වහන්සේ පිටත් ව මුහුද අසලින් ගිය සේක. මුළු සමූහයා උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ සේක. 14 උන් වහන්සේ මඟ වඩින විට, අල්පෙවුස්ගේ පුත් ලෙවී නැමැත්තා රේගු පොළේ හිඳිනු දැක, ''මා අනුව එන්නැ''යි ඔහුට වදාළ සේක. ඔහු නැඟිට උන් වහන්සේ අනුව ගියේ ය. 

15 තවද, උන් වහන්සේ ඔහුගේ නිවෙසහි කෑමට වැඩහුන් කල අයකැමියන් සහ පව්කාරයන් බොහෝ දෙනෙක් ද උන් වහන්සේ සහ උන් වහන්සේගේ ශ්‍රාවකයන් සමඟ හිඳගත්හ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේගේ අනුගාමිකයෝ වූ හ. 

16 උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ, ''බලන්න, උන් වහන්සේ අයකැමියන් හා පව්කාරයන් සමඟ කන බොන සැටි''යි ශ්‍රාවකයන්ට කී හ. 17 ජේසුස් වහන්සේ ඒ අසා, ''රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත; මා ආයේ දමිටුන් නොව අදමිටුන් කැඳවීමට ය''යි වදාළ සේක.

Comments