සමිදාණන් වහන්සේගේ ස්නාපන මංගල්‍යය

සමිදාණන් වහන්සේගේ ස්නාපන මංගල්‍යය 

පළමු කියවීම /යෙසායා 55:1-11

1 ''පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; 
මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. 
එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න. 
2 කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? 
තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? 
මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.''


3 ''මට සවන් දී,
මා වෙත එන්න; 
අවුත් ජීවනය ලබාගන්න; 
දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි.
4 දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. 
මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. 
5 නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්,
නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.''


6 හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; 
ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න. 
7 දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා,
සමිඳුන් වෙත ඇදී ඒවා! 
එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. 
දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; 
එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත. 


8 සමිඳාණන් වන මම මෙසේ පවසමි. 
''මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ.
9 අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. 
නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.''


10 ''අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, 
පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි. 
11 එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.''





පිළිතුරු ගීය : ඔබ ගැලවීමේ ළිං වලින් ප්‍රීතියෙන් දිය ඇද ගන්නාහුය 

2 බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. 
මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; 
එතුමන් කෙරෙහි මට බියක් නැත. 
මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. 
එතුමාණෝ මාගේ ගැළවීම ය.'' 


3 ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය.
4 ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: 
''සමිඳුන්ට තුති පුදන්න; 
එතුමන්ගේ නම පවසා අයැදින්න. 
එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. 
එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. 

5 ''සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; 
මුළු ලොවට ම ඒ ගැන දන්වන්න. 
6 සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; 
ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.''


දෙවන කියවීම /1 ජොහාන් 5:1-9

1 ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි. 2 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු. 3 දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ. 4 මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි. 5 ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?

6 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි. 7 එබැවින් සාක්ෂි තුනක් ඇත: 8 ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත. 9 අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ. 

සුවිශේෂය /මාක් 1:7-11

7 ඔහු දේශනා කරමින්, ''මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි; 8 මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ''යි කී ය.

9 එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක. 10 උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන්‍ තමන් පිට බැස එනු දුටු සේක. 11 තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, ''ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි''යි පැවසී ය.


Comments