Ada Supuwatha - අද සුපුවත -ඉරිදා -පෙබ 04- දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

 ලංකා අප ස්වාමිදු ගේ මංගල්‍යය 


පළමු කියවීම /යෙසායා 43:1-3,5,10-13

1 එම්බා ඉශ්රායෙල් ජනයෙනි, ජාකොබ් වංශයෙනි, නුඹ නිර්මාණය කොට, මවා වදාළ සමිඳාණෝ මෙසේ වදාරන සේක:
''බිය නොවන්න;
මම නුඹලා මුදාගතිමි.
නුඹලාගේ නම කියා මම හඬගැසීමි.
නුඹලා මාගේ ය.
2 නුඹලා ගැඹුරු ජලය මැදින් යන විට මම නුඹලා සමඟ සිටින්නෙමි.
නුඹලා ගංගා මැදින් එතෙර වන විට ජලය නුඹලා යට නොකරන්නේ ය.
නුඹලා ගිනි මැදින් යන විට දැවී යන්නේ නැත.
3 මන්ද, මම නුඹලාගේ දෙවිඳාණෝ ය.
නුඹලාගේ ගැළවුම්කාරයාණෝ ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ය.
නුඹලා මුදන පිණිස වන්දියක් වශයෙන් මිසරය ද එතියෝපියාව හා ශෙබා ද මම දුනිමි.


5 බිය නොවන්න;
මම නුඹලා සමඟ සිටිමි. 


 10 ඉශ්රායෙල් ජනයෙනි,
නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය.
නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි.
එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය.
මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත.
11 එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය;
මා හැර අන් ගැළවුම්කාරයෙක් නැත.
12 සිදු වන්න යන දේ මම කලින් දැන්වීමි;
ඉන්පසු නුඹලාට පිහිට වන්න මම පැමිණියෙමි.
කිසිම විදේශීය දෙවියෙක් ඔබ සමඟ නොසිටියේ ය.
මේ බවට නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය.
13 මම දෙවියන් වහන්සේ ය;
සදහට ම එසේ වෙමි;
මාගේ බලයෙන් මිදී යන්න කිසිවෙකුට නොහැකි ය.
මා කරන දේ වෙනස් කරන්න කිසිවෙකුට නොහැකි ය.'' 


පිළිතුරු ගීය:අප මිදු සමිදාණන් හට තුති ගී ගයමු 

1 එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු;
අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු.
2 තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු;
එතුමන් හට ජය මංගල ගී ගයමු. 


3 මන්ද, සමිඳාණෝ, බලසම්පන්න දෙවිඳාණෝ වන සේක;
උතුම් දේවාතිදෙවිඳාණෝ වන සේක.

 7 එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය.
අපි එතුමන්ගේ සෙනඟ ය;
එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය.
එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත! 


8 ''පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
9 එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය.
මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය. 


10 සතළිස් වසරක් මම ඒ පරපුර පිළිකුල් කෙළෙමි:
'ඔව්හු වනාහි සිත් නොමඟට හරවා ගෙන යන මාගේ මාර්ගය නොදත් ජනතාවකි.


 
 දෙවන කියවීම /ක්‍රියා 1:12-13,2:1-2,4-8,11

 12 එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ. 13 ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය.

 1 තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. 2 එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය. 

 4 ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ.
5 එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. 6 මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ. 7 ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, ''බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? 8 අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද?


 11 ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ''යි කී හ.

සුවිශේෂය /මතෙව් 2:1-2,7-12

1 හෙරොද් රජු දවස ජුදයේ බෙත්ලෙහෙමෙහි ජේසුස් වහන්සේ උපන් කල, පෙරදිගින් ශාස්ත්‍රවන්තයෝ ජෙරුසලමට අවුත්, 2 ''ජුදෙව්වරුන්ට රජ ව උපන් උතුමාණෝ කොතැන්හි ද? අපි එතුමාණන්ගේ තාරකාව පෙරදිග දී දැක, එතුමාණන්ට නමස්කාර කරන පිණිස ආවෙමු''යි කී හ. 

 7 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව පෙනුණු වේලාව ඔවුන්ගෙන් හොඳින් දැනගෙන, 8 ''ඔබ ගොස් ඒ ළදරුවා ගැන හරි ලෙස විමසන්න; ඔබ විමසා සොයාගත් පසු, මාත් ගොස් උන් වහන්සේට නමස්කාර කරනු පිණිස මටත් දන්වන්න'' කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවී ය. 9 රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. 10 තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමො‍්ද වූ හ. 11 ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. 12 තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

Comments