Ada Supuwatha - අද සුපුවත-සිකුරාදා පෙබ 08- දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

 

 පළමු කියවීම / 1 රාජාවලිය 11:29-32,12:19

 29 ඒ කාලයේ දී ජෙරොබෝවම් ජෙරුසලමෙන් පිටතට යන කල, අලුත් සළුවක් පොරවාගෙන සිටි ෂිලෝහි අහියා නම් දිවැසිවරයාට ඔහු මඟ දී සම්බ විය. ඒ දෙදෙනා පමණක් කෙතෙහි සිටියෝ ය. 30 අහියා තමා ඇඳ සිටි අලුත් සළුව ගෙන කෑලි දොළොසකට ඉරා, 31 ජෙරොබෝවම්ට කතා කොට මෙසේ කී ය: ''ඔබ කෑලි දහයක් ගන්න, මන්ද, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක, 'මම සලමොන්ගේ රාජ්‍යය පැහැරගෙන ඔබට ගෝත්‍ර දසයක් දෙන්නෙමි. 32 එක ගෝත්‍රයක් මාගේ මෙහෙකරු දාවිත් නිසාත්, ඉශ්රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් මා විසින් තෝරාගන්න ලද නුවර වන ජෙරුසලම නිසාත් ඔහුට වන්නේ ය.

පිළිතුරු ගීය : ඔබේ දෙවි සමිදාණන්ට සවන් දෙන්න

 9 ඔබ අතර බොරු දෙවි දේවතාවන් නොසිටිය යුතු ය;
විදේශීය දෙවි දේවතාවන් හට නමස්කාර නොකළ යුතු ය.
10 මිසරයෙන් ඔබ මුදා, ඔබ පිටතට ගෙනා දෙවි සමිඳාණෝ මම වන්නෙමි.
ඔබේ මුව හොඳින් විවර කරන්න;
එවිට මම ඔබ පෝෂණය කරන්නෙමි.

 11 එහෙත්, මාගේ සෙනඟ මාගේ හඬට සවන් නුදුන්නෝ ය.
ඉශ්රායෙල්වරු මට කීකරු නො වූ හ.
12 ඔවුන්ගේ ගල් සිත නිසා, මම ඔවුන් ප්‍රතික්ෂේප කෙළෙමි.
එවිට ඔව්හු ඔවුන්ගේ ම මතිමතාන්තර අනුව ගමන් කළෝ ය.
13 මාගේ සෙනඟ මට සවන් දෙන්නෝ නම්, ඉශ්රායෙල්වරු මා අනුව එන්නෝ නම්, කොතරම් යහපත් ද?
14 එවිට මම ඔවුන්ගේ සතුරන් වහා පරාජය කරන්නෙමි;
ඔවුන්ගේ එදිරිකාරයන්ට විරුද්ධ ව මම පහර දෙන්නෙමි.

 සුවිශේෂය / මාක් 7:31-37

31 යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක. 32 එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ. 33 උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක. 34 ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, ''එප්පාතා''යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, 'ඇරේවා' යනු යි. 35 එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය. 36 ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ. 37 එය ඇසුවෝ අතිශයින් මවිත ව, ''උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ''යි කී හ.

Comments