Ada Supuwatha - අද සුපුවත-සිකුරාදා -මැයි 25- දිව්‍ය පූජාවේ සියලුම කියවීම්

පළමු කියවීම /ජාකොබ් 5:9-12

9 සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක. 10 සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න. 11 ස්ථිර ව සිටි අය ආශීර්වාද ලද්දෝ යයි අපි කියමු. ජෝබ් ස්ථීර ව සිටි හැටි ඔබ අසා ඇත. ඔහු ගැන සමිඳාණන් වහන්සේගේ තීරණය ද ඔබට පැහැදිලි ය, සමිඳාණන් වහන්සේ දයානුකම්පාවෙන් අධික ලෙස පොහොසත් වී සිටින සේක. 

12 මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය ''එසේ'' නම් ''එසේ ය'' කියා ද, ''නැත'' නම් ''නැත'' කියා ද වේ වා. 

පිළිතුරු ගීය :සමිදාණෝ අතිශයින් කරුණාවන්තය 

1 මාගේ සිත, සමිඳුන් පසසන්න; 
හද පත්ලෙන් ම එතුමන්ගේ ශුද්ධ නම පසසන්න. 
2 මාගේ සිත, සමිඳුන් පසසන්න; 
එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න. 
3 එතුමාණෝ මාගේ සියලු පාප කමා කරන සේක; 
මාගේ සියලු රෝග සුව කරන සේක. 
4 මාගේ ජීවිතය පාතාල ලෝකයෙන් මුදාලන සේක; 
ප්‍රේමය හා දයාව නමැති කිරුළෙන් මා සරසන සේක. 


8 සමිඳාණෝ අනුකම්පාවෙන් හා දයාවෙන් පරිපූර්ණ ය; 
නොකිපෙන සුලු ය, අතිශයින් කරුණාවන්ත ය. 
9 එතුමාණෝ නිතර තරවටු නොකරන සේක; 
සදහට ම සිතෙහි කෝපය තබා නොගන්න සේක. 


11 මන්ද, පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නාක් මෙන් එතුමාණන් කෙරෙහි ගරුබිය පාන අයට එතුමාණන්ගේ කරුණාව මහත් ය.
12 නැගෙනහිරෙන් බටහිර ඈත් ව තිබෙන්නාක් මෙන් එතුමාණෝ අපේ පාප අපෙන් දුරු කරන සේක. 


සුවිශේෂය /මාක් 10:1-12

1 උන් වහන්සේ එතැනින් නික්ම ජුදයට සහ ජොර්දානෙන් එගොඩ පළාත්වලට පැමිණි සේක. යළිත් සමූහයෝ උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ සිරිත් පරිදි ඔවුන්ට ඉගැන්වූ සේක. 

2 පරිසිවරු අවුත් උන් වහන්සේ වචනයකින් අල්ලාගනු පිණිස, ''පුරුෂයෙකු විසින් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ''යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. 3 උන් වහන්සේ උත්තර දෙමින්, ''මෝසෙස් ඔබට කුමක් අණ කෙළේ දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක. 4 ''දික්කසාද සහතිකයක් ලියා ඇය අත්හැර දමන්න මෝසෙස් අවසර දුන්නේ ය''යි ඔව්හු කී හ. 5 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ''ඔහු මේ ආඥා පැණවූයේ, ඔබේ සිත් දැඩිකම නිසා ය. 6 එහෙත්, මැවීමේ මුල සිට ම දෙවියන් වහන්සේ ඔවුන් ස්ත්‍රී-පුරුෂ වශයෙන් මැවූ සේක. 7 ඒ හේතුකොට ගෙන මිනිසෙක් තම පියා ද මව ද අතහැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. 8 ඒ යුවළ ද එක ම මාංසයක් වෙති. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එක් කෙනෙක් වන්නෝ ය. 9 එබැවින් දෙවියන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා!''යි වදාළ සේක. 


10 ශ්‍රාවකයෝ ගෙදර දී මේ කාරණය ගැන යළිත් උන් වහන්සේගෙන් ඇසූ හ. 11 උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ''සිය භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියක පාවාගන්න කවරෙකු නමුත් ඔහු ඈට විරුද්ධ ව කාමමිථ්‍යාචාරය කරයි. 12 ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය''යි වදාළ සේක.




Comments