Ada Supuwatha - අද සුපුවත -මැයි 28- දිව්‍ය පූජාවේ සියලුම කියවීම්


පලමු කියවීම /1 පේදුරු 1:3-9

3 අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේ වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණින් උත්ථාන කිරීම හේතුකොටගෙන, දෙවියන් වහන්සේ ස්වකීය මහත් දයාවෙන්, 4 අපට නව ජීවනයක් දී, අපට ජීවමාන බලාපොරොත්තුවක් උදා කළ සේක. ඒ බලාපොරොත්තුව වනාහි සදහට ම පවත්නා උරුමයකට අප හිමිකාරයන් වීම ය. අජරාමර වූ ද, නොමැලවෙන්නා වූ ද ඒ උරුමය ස්වර්ගයෙහි ඔබ උදෙසා තබා ඇත. 5 දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.
6 ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය. 7 එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත. 8 ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා, 9 ඔබගේ ඇදහිල්ලේ අරමුණ වන ඔබගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිම කළ නොහැකි, තේජාන්විත මහා ප්‍රීතියකින් ප්‍රීතිවන්නහු ය.

සමිදාණෝ සිය ගිවිසුම කිසි කලෙක අමතක නොකරන සේක

1 සමිඳුන් පසසන්න, දැහැමියන්ගේ සමාගමේ දී ද සභාවේ දී ද මාගේ මුළු සිතින් සමිඳුන්ට ස්තුති කරන්නෙමි.
2 සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද?
ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.

5 එතුමාණෝ තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ට ආහාර දෙන සේක.
එතුමාණෝ සිය ගිවිසුම කිසි කලක අමතක නොකරන සේක.
6 එතුමාණෝ විජාතීන්ගේ දේශයන් තමන් සෙනඟට දීමෙන් තමන් බලය ඔවුන්ට පෙන්වූ සේක.

9 එතුමාණෝ සිය සෙනඟ මුදා ලූ සේක;
සිය ගිවිසුම සදහට ම පිහිටෙවු සේක.
එතුමන්ගේ නාමය සුවිශුද්ධ ය; ගරු ගම්භීර ය.
10 දේව ගරුබිය පෑම ප්‍රඥාවේ මුල් පියවර වේ;
එය පිළිපදින සියල්ලන්ට මනා බුද්ධිය ඇති වන්නේ ය.
එතුමන්ගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ ය.

සුවිශේෂය /මාක් 10:17-27

17 උන් වහන්සේ මඟ බැස ගමන් ගනිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී, ''යහපත් ගුරුදේවයෙනි, සදාතන ජීවනය උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය. 18 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ''මා යහපත් යයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. 19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න; කාමමිථ්‍යාචාරය නොකරන්න; සොරකම් නොකරන්න; බොරු සාක්ෂි නොකියන්න; වංචා නොකරන්න; නුඹේ පියාටත්, මවටත් ගෞරව කරන්න යනු''යි වදාළ සේක. 20 ඔහු ද උත්තර දෙමින්, ''ගුරුදේවයෙනි, මම මේ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කෙළෙමි''යි උන් වහන්සේට කීවේ ය. 21 ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, ඔහු කෙරෙහි මෙත් සිත් වඩා, ''ඔබට එක අඩු පාඩුවක් ඇත; යන්න, ඔබ සතු සියල්ල විකුණන්න; විකුණා දිළිඳුන්ට දෙන්න; ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න, මා අනුගාමී වන්නැ''යි ඔහුට වදාළ සේක. 22 එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී, දොම්නසින් පිරී එතැනින් නික්ම ගියේ ය. එසේ කෙළේ, ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි.

23 එවිට ජේසුස් වහන්සේ අවට බලා, ''ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර දැ''යි ශ්‍රාවකයන්ට වදාළ සේක. 24 ශ්‍රාවකයෝ ද ඒ අසා විස්මයට පත්වූ හ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළ සේක; ''දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම කොතරම් දුෂ්කර ද? 25 ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීමට වඩා ඔටුවෙකුට ඉදිකටු මලින් රිංගා යාම පහසු ය.'' 26 ඔව්හු අතිශයින් මවිත වී, ''එසේ නම් ගැළවීම ලැබිය හැක්කේ කවරෙකුට දැ''යි ඔවුනොවුන් අතර කියාගත්හ. 27 ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා, ''මිනිසුන්ට නම් එය කළ නොහැකි ය. දෙවියන් වහන්සේට එසේ නොවේ; දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි ය''යි වදාළ සේක.

Comments